සුනිල් ජයවර්ධනගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා රිමාන්ඩ්
Thursday, 11 June 2020 - 15:53 | Views - 558

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා ජුනි මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
ඒ ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් 8 දෙනා අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිටීද යන්න පිිළිබඳ විමර්ශණ ක්‍රියාත්මක බවයි.
ඊයේ පස්වරුවේ අංක 253, පරණ කොට්ටාව පාර - මිරිහාන ලිපිනයේ පිහිටි ලීසිං සහ වාහන ණය පහසුකම් ලබාදෙන ආයතනයකට සුනිල් ජයවර්ධන ගොස් ඇත්තේ සිය හිතවතෙකුගේ ගැටළුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
වාරික ගෙවීමට නොහැකිවීම හේතුවෙන් ඔහුගේ ත්‍රිරෝද රථය ලීසිං සමාගමෙන් යළි ලබාගැනීමට එරෙහිව සුනිල් ජයවර්ධන කරුණු දක්වා තිබුණා.
එය සිය ෆේස්බුක් ගිණුමේ සජීවී ව විකාශය කිරීමටයි සුනිල් ජයවර්ධන පියවර ගත්තේ.
මෙම කරුණු දැක්වීම වන අවස්ථාවේ වාරික නොගෙවෙන වාහන යළි ලබාගැනීමේ රාජකාරියේ නිරත සීසර්වරුන් කිහිපදෙනෙකුද එහි සිට තිබෙනවා.
මිරිහාන පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළේ අදාල මූල්‍ය ආයතනයේ සේවකයින් කිහිප දෙනෙකු ද එම අවස්ථාවේ අදාල ගොඩනැගිල්ල තුල සිට ඇති බවයි.
මෙහිදී දෙපාර්ශවය අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර පහර කෑමෙන් සුනිල් ජයවර්ධන එම ස්ථානයේ ඇඳවැටී තිබෙනවා.
එලෙස වැටී සිටියදී මොහුට පහර දෙන දර්ශණ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක්.
පසුව සුනිල් ජයවර්ධන දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ රාත්‍රි 10.55ට පමණ ඔහු මියගියා.
සුනිල් ජයවර්ධන පිළියන්දල-කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම සිද්ධියෙන් පසු මිරිහාන පොලීසියේ විමර්ශන කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කළ අතර, සී සී ටී වී දර්ශන ද ඒ සඳහා උපයෝගී කරගනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කෙරුණා.
ඝාතනයට ලක් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනට පහර දෙන වීඩියෝ පටයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
Share This Article