එල්.ටී.ටී.ඊ. නිළ ඇදුම් කොටස් හා ගිනිඅවි කොටස් හමුවු ස්ථානයේ කැනීම් තාවකාලිකව නවතා දමයි
Thursday, 11 June 2020 - 8:32 | Views - 508

කිලිනොච්චිය,පලෙයි,මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරන ප්‍රදේශයක තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිළ ඇදුම් කොටස් කිහිපයක්, ටි56 වර්ගයේ ගිනි අවි කොටස් කිහිපයක් හා අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් වන කැනීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසට කිලිනොච්චිය මහේස්ත්‍රාත් ජි.සරවනබවන්රාජා මහතා නියෝග කළ බව පලෙයි පොලීසිය පවසනවා.
පොලිසිය පැවසූවේ අදාළ ස්ථානය සම්බන්ධයෙන් තෙවැනි දිනට කැනීම් කටයුතු 09 වැනිදා සිදුකළ අවස්ථාවේ අලුතින් කිසිවක් අදාළ ස්ථානයෙන් හමුනොවු බැවින් කැනීම් ස්ථානය සම්බන්ධයෙන් වන කැනීම් කටයුතු තාවකාලිව නවතා දමන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි.
මීට පෙර අදාළ ස්ථානයේ කැනීම් සිදුකිරීම පසුගිය මැයි 26 වැනිදා සිදුකළ අතර එහිදි මිනිස් සිරුරක බවට සැක පළ කරන අස්ථි කොටස් කිහිපයක්, පැරණි තත්ත්වයේ පවතින දිරාපත්වූ ටි56 ගිනි අවි තුනක් , පතුරම් මැගසීන් 8 ක්, ජීව උණ්ඩ 75 , එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කළ නිළ ඇදුමක කොටස් කිහිපයක්, එල්.ටී.ටී.ඊ. සංවිධානය එකළ සිය සාමාජිකයින් හදුනා ගැනීම වෙනුවෙන් යොදා ගත් අංක තහඩුවක් සොයාගෙන තිබෙනවා.
කැනීම් සිදුකළ ස්ථානය සම්බන්ධයෙන් දෙවැනි දිනට කැනීම් කටයුතු පසුගිය ජුනි 02 වැනිදා සිදුකළ අතර එහි තිබි කුඩා අස්ථි කොටස් 16 ක් , එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිළ ඇදුමක කොටස් කිහිපයක්, ටි56 පතුරම් 36 ක් හමුවුණා.
පලෙයි,මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරන ප්‍රදේශයක තිබි අස්ථි කොටස්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිළ ඇදුම් කොටස් කිහිපයක් හා ටි56 වර්ගයේ ගිනි අවි කොටස් කිහිපයක් පසුගිය මැයි 21 වැනිදා පළමු වරට සොයා ගැනුණා.
ඒ බෝම්බ ඉවත් කිරීමේ හෙලෝ ට්‍රස්ට් සංවිධානයේ සාමාජිකයින් පිරිසක් විසින්.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ අදාළ ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා කැනීම් නිළධාරීන්, අපරාධ ස්ථාන පරීක්ෂක නිළධාරීන්, බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන්, පොලිස් නිළධාරීන් ඇතුළු කණ්ඩායම්වල නිරික්ෂණ මත කැනීම් සිදුකළ බවයි.
කැනීම් මගීන් හමුවු අස්ථි කොටස්,ගිනි අවි කොටස්, එල්.ටී.ටී.ඊ. නිළ ඇදුම් කොටස් කිලිනොච්චිය අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත සුරක්ෂිතව ගබඩා කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසන්නේ අදාළ ස්ථානය එල්.ටී.ටී.ඊ. සංවිධානය එකළ භාවිතා කළ බංකරයක් විය හැකි බවට සැක පළ කරන බවයි.
Share This Article