මුදල් කොල්ලය වැළකූ මාතර පොලිස් නිලධාරිණිය ගැන විමර්ශණයක්
Wednesday, 10 June 2020 - 13:19 | Views - 11,007

කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ තිබූ රුපියල් ලක්ෂ 79 කට අධික මුදලක් පැහැරගත් වෛද්‍යවරයා අදාළ කොල්ලය දීර්ඝ කාලයක සිට සැළසුම් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
ඊට අදාළ ලිපි ලේඛනද මේ වනවිට සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
සැකකාර වෛද්‍යවරයා මේ වනවිට මරදාන පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර, ඔහුට කිසියම් මානසික ආබාධයක් පවතින්නේද යන්න පිළිබඳව සොයාබලන බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.
සෙල්ලම් පිස්තෝලයක් යොදාගනිමින් ජාතික රෝහලේ ගිණුම් අංශයේ මුදල් අයකැමිවරිය බියගන්වා සැකකරු මෙම මුදල් කොල්ලය සිදු කළේ ඊයේ දහවල් කාලයේදියි. කොල්ලය සඳහා මොහු බොරු කොණ්ඩයක් ද පැළඳ පැමිණ ඇති බවටද මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
රෝහලේ කාර්ය මණ්ඩලයට ලබාදීමට නියමිතව තිබූ අතිකාල දීමනා, වැටුප් මෙන්ම අතිරේක රාජකාරි සඳහා ගෙවීමට තිබූ මුදල් මෙලෙස කොල්ලකා තිබූ අතර, පසුව ඔහු ත්‍රිරෝද රථයකින් පලාගොස් තිබුණා.
කෙසේ වෙතත් එහිදී තවත් ත්‍රිරෝද රථයකින්, සැකකරු හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ආධුනික නිලධාරීන් දෙදෙනෙකු විසින්.
එම අවස්ථාවේදී කිසියම් කටයුත්තක් සඳහා මෝටර් රථයෙන් කොළඹට පැමිණ සිටි මාතර කොට්ඨාසයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තද කොල්ලකරු අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි නිලධාරීන්ට සහය වී තිබුණා.
එම අවස්ථාවේ මෙම නිලධාරිනියගේ දරුවාද එම රථයේ සිට තිබෙනවා.
කෙසේ වෙතත් පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත එම සිද්ධියට සම්බන්ධවීම පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, ඇය රාජකාරි නිල ඇඳුමින් නොදන්වා එම ස්ථානයට පැමිණීම සම්බන්ධයෙන්.
මාතර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ පිළිබඳව නීත්‍යානුකූලව සොයාබැලීමක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.
මෙම මුදල් කොල්ලය අදාළ වෛද්‍යවරයා විසින් සිදුකර ඇත්තේ තනිවමද, එසේ නොමැතිනම් තවත් පිරිසක් ඊට සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article