තනියම බැහැනෙ අත්පුඩි ගහන්න. මම කියන්නේ නැහැ පවුල් ජීවිත හොඳට තිබුණු අය විතරයි හොඳම නළුවො වුණේ කියලා
Wednesday, 10 June 2020 - 12:22 | Views - 623
කලාවේ නම් අවුරුදු පනහ පැන්නා. සිනමාවේ මගේ පරිමාව තුළ මට යා හැකි දුර ප්‍රමාණය මම ගියා කියලා හිතෙනවා. කලාකරුවකුට කියන්න බැහැ තමයි සීමාව මෙතනයි කියලා. ඊළඟ මොහොතේ වෙනස්ම අභියෝගයක් තිබෙන්න පුළුවන්. එය ආකර්ෂණීය වෙන්නත් පුළුවන්. ඒත් හැගෙනවා ඒ හඹා යෑමේ තේරුමක් තිබෙනවාද කියලා.

මේ හැම දේකටම මානසිකව දැනෙන හැඟීමක් තිබෙනවානේ. එය එක්තරා විදිහක විධානයක් වගේ. තව යා යුතුයි. තව හඹා යා යුතුයි. අපට එය මෝටිවේෂන් නැත්නම් අභිප්‍රේරණය කියලා හොඳ වචනයකිනුත් හැඳින්විය හැකියි. ඒක හොඳ දෙයක්. නැත්නම් අපට ඉදිරි ගමනක් නැහැනේ... අපට අරමුණු තිබෙන්න ඕනේ. පුටුවක් උඩට වෙලා මට කිසිම අරමුණක් නෑ කියන එක හරි ඍණාත්මකයි. ඒවා ළඟාකර ගැනීමට හිතාගන්න බැරි විදිහේ කැපවීම් කරන්න ඕනේ තමන්ට ඉලක්කයක් තිබෙනවා නම්.. ඒ ගැන උත්සාහයක් නැති අය අඩියක් වත් ඉහළට ගිහින් නැහැ.
හැබැයි මගේ ජීවිතේ ආපසු හැරිලා කියතැහැකි. මම කාගේවත් කකුලේ ඇඟිලි මත නැඟිලා මගේ ගමන ආව කෙනෙක් නෙවෙයි. පිළිගන්නවා කාටවත් තනිවම බුදුවෙන්න බැහැ. මගේ වටෙත් පිරිස ඉන්නවා. ඒත් ඒ ගමන් මගේ වඩා පැහැදිලිව තිබෙන්නේ මගේම අඩි සලකුණු. මම එහෙම බර අඩිතබලා ආවේ මේ මේ දේ ලබාගත්තා කියන්න නෙවෙයි.

සියුම් අභිමානයක් සමඟ එසේ කියමින් ඔහු අතීතාවර්ජනයකට ගියේය.
සිනමාවට මම ආවේ අවුරුදු විසිපහ වගේ වෙද්දි. ඒ වෙනකොටත් මම ජීවිතේ බොහෝ අත්දැකීම්වලට මුහුණ දුන්කෙනෙක්. මම අහම්බෙන් වගේ නළුවෙක් වුණේ. මට කලාව, සිනමාව ගැන ලොකු උනන්දුවක් තිබුණා. ඒ පිටුපස තිබුණේ රංගන ශිල්පියකු වෙලා යන ගමනක් නෙවෙයි, හැබැයි මම ඒ මඟට අවතීර්ණ වුණාට පස්සේ ඒක හරි ආසාවෙන් වැලඳ ගත්තා. ලයනල් වෙන්ඞ්ට් කලාගාරයට මම 69 වසරේ බැඳෙන්නේ රංගනය හදාරන්න නෙවෙයි. නාට්‍යකලාව, තිරරචනය, අධ්‍යක්ෂණය, වේදිකා සැරසිලි ඉගෙන ගන්න. ඒත් මම ලයනල් වෙන්ඞ්ට් එකෙන් එළියට එන්නේ ඒ තෙවස් ඩිප්ලෝමා පාඨමාලාවේ සැ¥ පළමු වේදිකා නාට්‍යය - මූදු පුත්තු ප්‍රධාන චරිතය ලෙස. සමහර විට ගුරුවරු මගේ මොනවා හෝ හැකියාවක් දැකලා මාව ඒ මඟට පොලඹවන්න ඇති. කොහොමහරි මාර්ග කීපයක් අතරින් ඇවිත් මාව මේ මඟට වැටුණට පස්සේ මට මාව අමතක වන තරමට දැඩි කැපවීමක් යොදන විදිහේ පෙලඹවීමක්, අභිප්‍රේරණයක් ඇති වුණා. ඒ රංග ශිල්ප ශාලිකාව තුළ සිනමා කලාව පිළිබඳ පොදුවේ ගැඹුරු වටහා ගැනීමක් කරගන්න මට පුළුවන් වුණ නිසා. ඒ අත්දැකීම කලාව ඉගෙනීමට වගේම අපේ ජීවිතය පිළිබඳ වෙනස් ආකාරයට දකින්න, ජීවිතය විවරණය කරලා වඩා යහපත් තේරුම්ගැනීමකින් ලෝකය දිහා අලූ‍ත් දැක්මකින් බලන්න හේතු වුණා. අපි නාට්‍ය බලලා, සංගීතය රසවිඳලා පුදුමාකාර වින්දනයක් ලබනවා. මේ සියලූ‍ වින්දනයන් ඔස්සේ නිර්මාණය කරනු ලබන පුද්ගලයා වෙනස් කෙනෙක්. ඒ වෙනස මට හොඳටම දැනුණා. ඒ පුද්ගලයා සමාජගත කරන්නත් ඕනා වඩා යහපත් දෙයක්. මේ ලලිත කලා සියල්ල අවශ්‍ය සංවේදී, පරිසරය හඳුනන, සමානව සම්බන්ධතා අගය කරන මිනිසෙක් බිහි කරන්නනේ... නැත්නම් ලලිතකලාවල ඉලක්කය කුමක්ද? ඒක මට තේරුණු නිසා මම රංගන කලාවේ යෙදුණේ චරිතයක් කරලා ”‍හා මම දැන් මගේ හැකියාව පෙන්නුවා, මම දැන් හොඳ නළුවෙක්”‍ කියන්න නෙවෙයි. එවැන්නක් නොහිතෙනවාත් නෙවෙයි; එහෙම කිව්වොත් ඒක බොරුවක්. හැබැයි මට එයින් එහා ගිය දැනුමක් තිබුණා. මේ අභ්‍යාසයන්ට, මේ කලාවන්ට යොමුවන්න කලින් සිටි පුද්ගලයාට වඩා පරිවර්තනයකට ලක් වූ කෙනෙක් ඒවා ඉගෙන ගත් පසු ඉන්නවා කියන දේ මට හැඟු‍ණා. මෙතන ප්‍රධානම දේ අනිත් සියලූ‍ දේවල් හඳුනාගන්න කලින් තමා කවුද? තමා කොතැනද ඉන්නේ? කියන දේ හඳුනා ගැනීම. එය තමන්ගේ මානසිකත්වය පමණක් නෙවෙයි. භෞතිකව බාහිරව අප නිර්මාණය වෙලා තිබෙන හැටි ඉගෙන ගැනීමට වැදගත්. අපි බොහෝ දෙනා හිතන්නේ ලෝකය පිළිබඳ දැක්ම තමන් කොහොමද ආගම ධර්මයෙන් හඳුනාගන්නේ කියන එක. හැබැයි ආගම ධර්මයෙන් තේරුම් ගන්න දේට එකට එහා ගිය දෙයක් මෙහි තිබෙනවා. තමාගේ පෞද්ගලික ස්වරූපය, තමන් සමාජය සමඟ ගනුදෙනු කරන ආකාරය පිළිබඳ බොහෝ ප්‍රවණතා නිර්මාණය කරන්න හේතු වෙනවා.

ඔබ කියන්නේ පුද්ගල පෞරුෂය නැත්නම් ඕරාව ගැනද?
හරියට හරි. ඒවායින් පෞද්ගලිකව තමන් සමාජය තුළ ඇති කරන යම් කිසි බලපෑමක් තිබෙනවා. සමාජය තුළ ඒ ඇතිකරන තරංග මොනවාද කියා අපි තේරුම් ගන්න ඕනේ. ඒ පුද්ගලයා සමාජය සමඟ ගනුදෙනු කරද්දි ඔහුගෙන් නිර්මාණය වන දෙයක් තිබෙනවා. ඒ අනුව සමාජයෙන් එයට ලැබෙන ප්‍රතිචාරය තිබෙනවා. මෙවැනි ප්‍රත්‍යාවර්තී නැත්නම් දෙපසට ගමන්කරන සිද්ධාන්තයක් පවතින බව තේරුම් ගන්න කලාවෙන් මා ලද අභ්‍යාසය සහ කලාව කෙරෙහි මට තිබුණු ආදරය ගෞරවය වගේම වාසනාවත් හේතු වුණා. ඒ විවර වුණු මනස මට ලැබුණේ රංග ශිල්ප ශාලිකාවේදී පුහුණුවීම්වලින් වගේම ඇසූ පිරූ තැන් ඇති මහා පුද්ගලයන් ඇසුරු කරන්න ලැබීමෙන්. ඔවුන්, අපි ආසාවෙන් හා කැපවීමෙන් ඒ කටයුත්තේ නියැළෙද්දි ඒ ගමන යන්න එකට එන ගමන් සගයන් කීවත් කමක් නැහැ. ගුරුවරුන් වශයෙන් පමණක්ම නොවේ ඔවුන් සමාජමය වශයෙන් ඇසුරු කරන්න ලැබීමත් වාසනාවක්.

56න් පස්සේ හැට හැත්තෑ ගණන්වලට ඇවිත් අපි මහා කලා ප්‍රබෝධයක් ගැන කතා කරනවානේ... ඒ ප්‍රබෝධයේ පුරෝගාමීන් සමඟ අවුරුදු විසිගණන්වල තරුණයකු ලෙස ඇසුරු කරන්න ලැබීම මොනතරම් භාග්‍යයක් ද? ඔවුන්ගේ ජීවිත දැක්ම, අත්දැකීම්, කතාබහ, දර්ශනය, ජීවිත ආකල්පය, ජීවිතය තේරුම්ගෙන එය විඳින ආකාරය! මහාචාර්ය සරච්චන්ද්‍රයන් තමයි අපේ ප්‍රධාන අධ්‍යක්ෂවරයා වුණේ, ධම්ම ජාගොඩ අධ්‍යක්ෂවරයෙක්. ගුණසේන ගලප්පත්ති, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, අයිරාංගනී සේරසිංහ මැතිනිය වගේම ඉංග්‍රීසි වේදිකාවේ ප්‍රමුඛයන් කීපදෙනකුමත් හිටියා, පර්සි කොලින්ටර්, අර්නස්ට් මැකින්තුමෙ වගේ. ඒ එක්කම මූදු පුත්තු නව නිර්මාණය ධම්ම ජාගොඩ කරද්දි පණ්ඩිත් අමරදේවයන් සමඟ එකට ගැවසෙන එක. ඔහු තනු නිර්මාණයේදී සංගීත පන්තියකට සහභාගී වන අයට වගේ අපට ස්වර රටා, එයට අදාළ රාගයන් ආදිය පිළිබඳ කියා දෙනවා.

අපි අතර ශිෂ්‍යයන් - ගුරුවරුන්ට එහා ගිය සමීප සම්බන්ධයන් ඇති වනවා. ඒ දිනවල උසස් කලා රසයක් ඇති අයගේ හමුවක් තියෙද්දි සමාජමය වශයෙන් මංජු ශ්‍රී, ජෝ අබේවික්‍රම, ධර්මශ්‍රී ගමගේ, වින්ස්ටන් සේරසිංහ වැනි ප්‍රාමාණිකයන් ඇසුරු කළා. ඒ වගේම එතැන දේශීය කලාව සහ බටහිර කලාව අතර සම්මිශ්‍රණයක් තිබුණා. ඒ සමාජමය ඇසුර තරුණ වියේදීම ලැබීම තුළ මේ ගමන පිළිබඳ වෙනස් දැනුමක් ලබන්න හැකි වුණා. ඔවුන් වැනි, තම හැකියාවන්වලින් සමාජයේ බලපෑමක් ඇති කළ හැකි අය ඇසුරු කිරීම කලා ශිල්පියකු වශයෙන් ජීවිතය තේරුම්ගෙන තමාගේ සමාජ භූමිකාව හඳුනා ගැනීමට වැදගත්. මට ඇසුරු කරන්න ලැබුණේ කලාවෙන් යා හැකි ඉහළටම ගිය කලාකරුවන්. ඔවුන්ගේ ජීවිත සැකැස්ම අපටත් කාන්දුවුණා.

අපේ අම්මටයි තාත්තාටයි දරුවෝ හය දෙනෙක්. ඔවුන් දෙන්නා ඉතාම සුළුවෙන් ජීවිතය පටන්ගෙන පසුව අපේ තාරුණ්‍යය වන විට අපට අවශ්‍ය සියලූ‍ දේ ලබාදිය හැකි මට්ටමට පසුබිම සකස් කරලා දුන්නා. වාසනාවකට අපට කවදාවත් දෙයක් අඩුපාඩු වුණා කියන්න වුණේ නෑ. මම ආයෙත් වගාඩම්බර කියනවා නෙවෙයි. අද මේ ඉන්න තත්ත්වයට ඒ පසුබිමෙන් ලැබුණ දායකත්වය, ඒ කියන්නේ අපට දුන් සැප පහසුකම් නෙවෙයි, අද අප ඉන්න තත්ත්වයට ගේන්න ඔවුන්ගේ ජීවන අරගලය මැද ඔවුන් ඔරුව පැදගෙන ගිය හැටි! අපේ අම්මා විතර මහන්සිවෙලා වැඩකරපු ගැහැනියක් මම දැකලා නැහැ. අම්මා අපේ දළුගම වත්තේ වැටෙන පොල් අත්ත පවා අතහැරියේ නැහැ අපට යමක් කමක් තිබුණ කාලෙදිවත්. ඇහිඳගෙන ගිහින් මඬේ ගහලා පොඟවලා කා ලව්වා හරි වියවලා විකුණනවා. ඒ තරම් සකසුරුවම්; හැබැයි ලෝබ නැහැ. මගේ පියා සෑහෙන මහන්සිවෙලා වැඩ කළ කෙනෙක්. ඔහුට දවසකට පැහ විසිහතරත් මදි. ඒවායින් අපි දැක්කේ ජීවිතය හැදුණු හැටි. රවීන්ද්‍ර රන්දෙණිය කියන මේ පැළය හැදෙන්න පස සකස් වුණු හැටි. මොකද අපි පෙළක් වෙලාවට ඒවා මතක් නොකර ඉබේ මතු වුණා වගේ කතා කරනවා.

කොපමණ සරු පසක් වුණත් එය තිබූ පමණින් ගහක් හැදෙන්නේ නැහැ...?
මට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ සිනමා ගමන තුළ මට සහාය දුන් සහෝදර නළු නිළියන්. හරියටම බැලූ‍වොත් අයිරාංගනී සේරසිංහ මහත්මියගේ ස්වාමි පුරුෂයා ලෙස පවා මම රඟපාලා තිබෙනවා. හිමකතරේ. ඒ ඉඳලා අනර්කලීගේ පෙම්වතා ලෙස පවා රඟපෑවා. මට පුණ්‍යා හීන්දෙණිය වගේ නිළියන් මඟ හැරුණා තමයි. ඒත් අනුලා කරුණාතිලක, ස්විනීතා වීරසිංහ වගේ ඒ යුගයේ අයගේ ඉඳලා, හැම ප්‍රධාන පෙළේ ශිල්පිනියක් සමඟම , මාලනී, ගීතා, ස්වර්ණා, ශ්‍රියානි, අනෝජා, වීනා, නීටා සබීතා, සංගීතා, වසන්ති, දිල්හානී වගේ කී නොකී සහෝදරියන් සහ නම් නොකීවත් සහෝදර ශිල්පීන් සමඟ පවා පුදුම සහයෝගයකින් වැඩ කරන්න පුළුවන් වුණා. රංගනය කියන දේ වගකීමෙන් කළ යුතු දෙයක් ලෙස මා තුළින් දකිද්දි සහ ඔවුන් තුළත් ඒ අදහස තිබුණු නිසා අපි ඒ ගැන බොහොම ගැඹුරෙන් හිතා මතා කටයුතු කළා. ඒ අවස්ථා මම කෘතවේදීව සිහිකරනවා. ඒ වගේම අධ්‍යක්ෂවරු, සංස්කාරකවරු කැමරා ශිල්පීන් සියලූ‍ දෙනාත් මේ සාර්ථකත්වයට දුන් සහාය වටිනවා. ඒ සියල්ල අතරින් මගේ සහෝදර ශිල්පිනියන් සමඟනේ වැඩිපුර ගැටෙන්නේ. ඒ සියලූ‍ දෙනා ප්‍රතිභාපූර්ණ කලාකාරිනියන්. ඔවුන් මේ රටේ සම්පත්. ඒ සියලූ‍ දෙනාට තිබුණේ මේ රටේ හොඳ සිනමා කලාකාරිනියක් වීමේ ඉලක්කය. රංගනය තුළින් රට පිළිගන්න කලාකාරිනියක් ලෙස දේශයේ ගෞරවයට ආදරයට ලක්වන කලාකාරිනියක් වීම ඔවුන්ගේ සිත තුළ තිබුණා. අද ඒ ගතිය මම තරුණ පරපුරේ සමහරුන්ගේ මම දකින්නෙ නැහැ.

මව්පියන් සහෝදර ශිල්පීන් වගේම අඹුදරුවන්ගේත් ඒ සහාය නොදුණහොත් බාධාවක් විය හැකියි..
මගේ පොඩි දුර්වලකමකුත් තියෙනවා වැඩක් දුන්නාම ඕනෑවට වඩා ඒක ඔළුව උඩ තියාගන්නවා. සුළු සුළු දේවල් ගැන හරියට හිතනවා. නිවැරැදිව බලනවා. හැබැයි ඒක නිසාම තමයි දහස් ගණනක් අතරින් අප වෙනස් වෙන්නේ. හැමදේටම අවධානය වැඩියි. මේ වගේ පසුබිමක් තුළ ප්‍රේම සම්බන්ධතාවකින් විවාහ වුණ ප්‍රීති ලොකු කැපකිරීමක් කළා. ප්‍රීති දෑස නිසා, ගෝඞ් කිං, දුහුළුමලක්, තරංගා වගේ හොඳ චිත්‍රපට හතරක මාත් සමඟම රඟපෑවා. අපේ සම්බන්ධයේ මූල බීජය හට ගත්තෙත් ඒ චිත්‍රපටවලදි තමයි. විවාහයේ පළමු වසරෙම අපට පළමු දරුවා ලැබුණා. දරුවන් ලැබෙද්දි අපේ වගකීම් වැඩි වෙනවා. මගේ මුල්ම චිත්‍රපටය කරන්නේ 1971 ඒත් චිත්‍රපටයක් තිරගතවන්නේ 1974. ඒ වෙද්දි අපි විවාහකයි. 1975 පළමු දරුවා ලැබෙද්දි මම අතිශය කාර්යබහුල නළුවෙක්. පළමු චිත්‍රපටය ප්‍රදර්ශනය වන්න කලින් තවත් චිත්‍රපට හය හතක වැඩ. සමහර කාල තිබුණා එක චිත්‍රපටයක දර්ශනතලයේ මාසයක් පමණ ඉඳලා ගෙදර එනකොට අනෙක් චිත්‍රපටයේ වාහනය ඇවිත් මාව එක්කගෙන යන්න. ඉතින් ගෙට ගොඩවෙලා රවුමක් කැරකැවිලා ඒ ඇඳුම් සූට්කේස් එකත් එක්කම ආපහු යනවා. 1982 වෙද්දි අපට දරුවෝ තුන්දෙනාම ඉන්නවා. ඒ අය පොඩියි අසනීප වෙනවා, දඟලනවා, නටනවා. මම සියල්ල සපයලා දුන්නා වුණත් මෙහෙයුම කළේ ප්‍රීතිනේ. ප්‍රීති ඒ දේවල් අවුල් කරගත්තා නම් මම කියූ අර වැඩිපුර දශම පහේ අවධානය දෙන්න බැරිවෙනවා.

මට එහෙම අමතක නොවුණා නම් ප්‍රීති රන්දෙණිය කියන්නේ තවත් එක් ව්‍යාපාරිකයකුගේ බිරිඳක්. තනිව බැහැනෙ අත්පුඩි ගහන්න. මම කියන්නේ නැහැ පවුල් ජීවිත හොඳට තිබුණු අය විතරයි හොඳම නළුවො වුණේ කියලා. ඒත් සහයෝගී පවුලක් කෙනකුට ලොකු හයියක්.

ඔබ නළුවෙක් නොවුණා නම් ව්‍යාපාරිකයෙක් ඒ කියන්නේ... ?
අපි තාත්තගේ ව්‍යාපාරවලට උරුමකම් කියාගෙන ආ අය. 1970 මමත් අපේ තාත්තා වගේම සුළුවෙන් කොළඹ ව්‍යාපාර පටන්ගෙන අවුරුදු හතරක් විතර ඇතුළත හොඳ තැනකට ගෙනාවා. ඒත් මට උදේ 9 ඉඳන් සවස 5 වෙනකල් එතැන ඉන්න වෙනවා. මම ඩබින් ඉවරවෙලා ගෙදර එන්නේ මහපාන්දර 4 විතර. මට දැනුණා මේ වැඩෙන් දෙපැත්තම අසාර්ථක වෙනවා කියලා. ඒ පාර මම මල්ලිට කතාකරලා සියලූ‍ම ව්‍යාපාර කිසිම ලාභප්‍රයෝජනයකින් තොරව පැවරුවා. මම සම්පූර්ණයෙන් ව්‍යාපාරයෙන් බැහැර වුණා. ආර්ථිකය සම්පුර්ණ වෙනස් වුණා. ඊට පස්සේ බාහිර හේතු මත මම අපේ තාත්තලාගේ ව්‍යාපාරවලිනුත් බැහැර වුණා. පස්සේ බාල මල්ලිත් එක්කත් අපේ ව්‍යාපාරවලට සම්බන්ධ තවත් ව්‍යාපාරයක් පටන් ගත්තා. දරුවෝ තුන්දෙනෙක් එක්ක අන්තිම අපහසු කාලයක් තිබුණා ප්‍රීතිටයි මටයි.

අරුණි මුතුමලී
සරසවියImage may contain: 1 person, suit
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top