හැර ගිය සැමියා ගැන පේනයක් බලන්න ආ කාන්තාවට, අමුතු ගුරුකමක් කළ කපුවා කපෝතී
Wednesday, 10 June 2020 - 9:34 | Views - 446

හැර ගිය සැමියා ආපහු ගෙන්වා දීම සඳහා ශාන්තිකර්මයක් කර දීමට තම දේවාලයට ගෙන්වා ගත් කාන්තාවකගෙන් හොඳ හැටි පහර කා දේවාලයේ තිබු වටිනා බඩු මුට්ටු මෙන්ම තම ජීවිකාවද අහිමි කරගත් කපු මහතෙකු පිළිබඳ පුවතක් අපට වාර්තා වුණා.
සිද්ධිය මෙසේ යි.
ඇය තරුණ විවාහක කාන්තාවක්. සිය කුළුඳුල් දරුවා ප්රසූත කිරීමත් සමඟකිසියම් හේතුවක් නිසා ඇගේ සැමියා ඇය අත්හැර අගනුවර ප්රදේශයට ගොස් වෙනත් කාන්තාවක් සමඟ දීග කමින් සිටියේ තම දරුවා මෙන්ම බිරිය ද අමතක කරමිනුයි.
ඔහු යළි ගෙන්වා ගැනීමට නීති මඟින් කටයුතු කළ ද පලක් නොවූ තැන ඇය දෙවියන්ගේ පිහිට පැතීමට තීරණය කළේ මිතුරියකගේ මඟ පෙන්වීම අනුවයි.
සැමියා ගෙන්වා දීම සුළු කටයුත්තක් බව ඇය වෙත අවධාරණය කළ කපු මහතා ඒ වෙනුවෙන් දිය නා පිරිසිදු වී ඇඳ පැළඳගෙන බුලත් අතක් පමණක් රැගෙන දේවාලයේ වතාවත් නොපැවැත්වෙන දිනකදී තනිවම පැමිණෙන්නැයි කියා සිටියේ සැමියා ගෙන්වා දෙන තුරු සියලු කටයුතු රහසේ සිදු කළ යුතු යැයි ද අවවාද කරමිනුයි.
කපු මහතා කී පරිදි දින කීපයක් තිස්සේ දිය නා පේවී පිරිසිදුවට හැඳ පැළඳගත් ඇය හුදකලාවම දේවාලය වෙත පැමිණියේ සිය සැමියා ගෙන්වා ගැනීමට ඕනෑම කැපකිරීමක් කරන්නට සුදානම් බව කපු මහතාට අවධාරණ කරමින්.
ඇය පැමිණෙන විටත් දේවාලයේ සිටියේ කපු මහතා පමණයි...
කිසිවෙකුටත් නොදැනෙන පරිදි දේවාලයේ කුටියකට කාන්තාව ගෙන්වා ගත්ත කපු මහතා ඇයව අසුනක වාඩි කරවා ශාන්තිකර්මය කිරීමට පෙර කළ යුතු වත් පිළිවෙත් කිහිපයක් පිළිබඳව ඇයව දැනුවත් කළේ ඒ සඳහා ඇගේ කැමැත්ත ද ඉල්ලා සිටිමිනුයි.
ගොනා හැරෙන්නේ පොල් පැළයට බව තේරුම් ගත් කාන්තාව තමුන්ට මුහුණ දීමට සිදුවන ඕනෑම දේකට සුදානමින් මුලින්ම ඔහුගේ යෝජනාවන්ට එකඟව කටයුතු කළ ද වැඩ වැරදීගෙන එන බව දැනගත් ඇය කපුවාට අතින් පයින් පහර දී දේවාලයේ තිබූ දේවරූපයක් ඇතුළු බඩුමුට්ටු කීපයක්ද පොඩි කරමින් එළියට පැන මරළතෝනී දෙන්නට පටන් ගත්තේ මෙතෙක් කලක් කපුවා පොරොවාගෙන සිටි සුදු පිරුවට ද ඉවත් කරමිනුයි.
සිද්ධියෙන් පසු කපුවාද අතුරුදහන් වී ඇති අතර ඔහුද මේ වන විට නගරයේ වැඩ බිමක් සොයා ගොස් එහි කොන්ක්රීට් අනන බව ගම්මු පවසනවා.
(උපුටා ගැනීම ලංකාදීප පුවත්පත.)
Share This Article