ගුණරත්නම් ඇතුලු පෙරටුගාමීන් 42 ක් අත්අඩංගුවට පත් වූ අධිකරණ නියෝග නොතැකූ විරෝධය (වීඩියෝ)
Tuesday, 09 June 2020 - 21:18 | Views - 465

අධිකරණ නියෝග නොතකා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අසළ විරෝධතාවකට සූදානම් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් ඇතුලු එම පක්ෂයේ සාමාජිකයින් 42 දෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ ඇමරිකානු කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මිය යාමේ සිද්ධිය මුල් කර ගෙන ලොව පුරා පැන නැගී ඇති වර්ගවාදයට එරෙහි විරෝධතාවන්ට සමගාමීවයි.කෙසේ වෙතත්, එම ස්ථානයේ අද දිනයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් ඊයේ අධිකරණය නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.ඔවුන් එම අධිකරණ නියෝගය නොතකමින් විරෝධතාව පැවත්වීමට සුදානම් වූ අවස්ථාවේ පොලිසීය විරෝධතාවට පැමිණ සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.අප වාර්තාකරු සඳහන් කළේ පොලීසිය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයන් අතර එහිදී ගැටුම්කාරී තත්වයක්ද ඇතිවූ බවයි.අනතුරුව එහි සාමාජිකයින් 42 කු අත්අඩංගුවට ගෙන තිබුණා.ඒ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම්, දේශපාලන මණ්ඩල සභිකයන් වන දුමින්ද නාගමුව, සුජිත් කුරුවිට මෙන්ම ක්‍රියාකාරී සාමාජිකයන් වූ පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සහ නීතිඥ නුවන් බෝපගේ ද ඒ අතර සිටිනවා.සිද්ධියෙන් අනතුරුව කොළඹ - පුරහල අසළදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් එහි පැමිණි පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තා.
Share This Article