මිනුවන්ගොඩින් හමුවූ ටී 56 ගිනි අවිය පාතාල සාමාජිකයෙකුගේ බවට හෙළිවේ
Monday, 08 June 2020 - 20:21 | Views - 696

මිනුවන්ගොඩ - පත්අඬුවන ප්‍රදේශයේදී වෑන් රථයකින් දමා ගිය ටී - 56 වර්ගයේ ගිනි අවිය සහ මැගසින් 4 දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජිකයෙකු වන මාකිලන්ගමුවේ - සංජීව නමැත්තාට අයත් බවට හෙළි වී තිබෙනවා.
පෙරේදා උඩුගම්පොල - කොටුගොඩ මාර්ගයේ කෙහෙල්බද්දර මංසන්ධියේ රාජකාරියේ නිරතව සිටි යතුරුපැදියෙන් පැමිණි පොලිස් නිලධාරින් පිරිසක් මෙම වෑන් රථය පරික්ෂාවට ලක් කල අතර, එම අවස්ථාවේ එය පලාගොස් තිබෙනවා.
පසුව එහි රියදුරු මෙම ගිනි අවිය සහ මැගසින් තොගය පත්අඩුවන ප්‍රදේශයේ මාර්ගයක් අසල දමාගොස් තිබූ අතර, අද එම රියදුරා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහු නාරාහේන්පිට - දාබරේ මාවතේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු බවට අනාවරණ වී තිබෙනවා.
අදාළ ගිනි අවිය, මාකිලන්ගමුවේ සංජීව නමැත්තා වෙනත් පුද්ගලයෙකු හරහා වෑන් රථයේ රියදුරුට ලබාදී ඇති බවටයි පරික්ෂණවලදී හෙළි වී ඇත්තේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර රියදුරා පැය 24ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබෙනවා.
මාකිලන්ගමුවේ සංජීව නමැත්තා ලබා දුන් කොන්ත්‍රාත්තුවකට අනුව, ජා-ඇල ඒකල - මහවත්ත ප්‍රදේශයේදී පාතාල සාමාජිකයෙකු වන නිශාන්ත අජිත් කුමාර හෙවත් කළු අජිත් ඝාතනය කර පෙරේදා දිනයට වසරක් ද ගතවුණා.
පොලිසිය සැක කරන්නේ ඔහුගේ වාර්ෂික දානමය පිංකමට පැමිණෙන විරුද්ධ පාතාල නායකයෙකු ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවිය සහ මැගසින් හතර මිනුවන්ගොඩ ප්‍රදේශයට යවා ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය දීර්ඝ විමර්ශනයක් සිදුකරන අතර, දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මාකිලන්ගමුවේ සංජීව නමැති පාතාල සාමාජිකයාට මුදල් ලැබෙන ආකාරය පිළිබඳව සහ ඔහු බන්ධනාගාරයේ සිට මෙහෙය වන ජාවාරම් සම්බන්ධයෙන් ද විමර්ශන නිලධාරින්ගේ අවධානය යොමුවී තිබෙනවා.
Share This Article