කිරිබත් කෑල්ලක හැඩයෙනුත් දිස් වුණා - කොරෝනා අස්සේ හෝමාගම ප්‍රදේශයට පැමිණියේ පිටසක්වල ජීවින් ද...?
Monday, 08 June 2020 - 9:00 | Views - 1,630

පිටසක්වළ ජිවීන්ට අයත් බවට සැක කළ හැකි අබිරහස් පියාඹන පීරිසියක් වැනි සුවිශේෂී යානයක් හෝමාගම ඉහළ අහසේ සැරිසරා තිබේ. මෙම යානය ඉකුත් 04 වැනිදා රාත්‍රි 7.30ට පමණ වෛද්‍ය ශිෂ්‍ය පිරිසක් විසින් දැක ඇති අතර එදිනම රාත්‍රි 11.45ට පමණ කිරිබත් කැටයක හැඩගත් හා ත්‍රිකෝණාකාර හැඩය ගත් තවත් යානා හතරක්ද එම ගුවන් මගේම ගමන් කරන අයුරුද මෙම ශිෂ්‍ය පිරිස ඉතා පැහැදිලිව දැක ඇත.
ඉකුත් 04 වැනිදා රාත්‍රි 7.30 සිට 7.40 අතර කාලයේදී පළමු අබිරහස් පියාඹන වස්තුව හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටුවා ඇති හරිත සරසවියේ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින වෛද්‍ය ශිෂ්‍යයන් දස දෙනකුට අධික පිරිසක් ඉතා හොඳින් නිරීක්ෂණයට ලක්කර ඇත.
මෙම අබිරහස් පියාඹන වස්තුව රතු පැහැති අමුතු එළි විශේෂයක් සහිතව පීරිසියක හැඩයෙන් ඉතා හොඳින් දිස් වූ බවද එම නිරෝධායනයට ලක්ව සිටින වෛද්‍ය ශිෂ්‍යයන් වන සාලිය උඩුවැල්ල හා ප්‍රසාන් ජයරංග ඇතුළු ශිෂ්‍යයෝ පුවත්පතකට පවසා තිබේ.
මෙම යානාව විනාඩි දහයකට ආසන්න කාලයක් තිස්සේ අහසේ එකම තැන නොසෙල් වී තිබූ බවත් එය චන්ද්‍රිකාවක් හෝ සාමාන්‍ය ගුවන් යානයක් නොවන බව ස්ථීර යැයිද එම ශිෂ්‍යයෝ අවධාරණය කරමින් විශ්වාසය පළ කළහ.
රතු පාටට හුරු අමුතු ආකාරයේ එළි මෙන්ම තැඹිලි පැහැයට හුරු ආලෝකයක් ද දක්නට ලැබුණු බවත් එකම තැන නොසෙල්වී තිබූ එම අබිරහස් යානය පසුව ඊසාන දෙසට පාවී ගිය බවද ඔවුහු සඳහන් කළහ.
මෙම අබිරහස් යානාව මුලින්ම දැක ඇති වෛද්‍ය ශිෂ්‍ය ප්‍රසාන් ජයරංග (25) කෑ ගසා සෙසු ශිෂ්‍ය පිරිසටද එය පෙන්වා ඇති අතර ඔවුන් තම අතරැඳි ජංගම දුරකථනවලින් මෙම යානයේ ඡායාරූප ලබාගෙන ඇත. තවත් අය වීඩියෝ පටිගත කිරීම් ද කර තිබිණි.
රුසියාවේ කූර්ක්ස් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම ශ්‍රී ලාංකික ශිෂ්‍ය පිරිස ඉකුත් දා මෙරටට පැමිණ ඇත්තේ කොරෝනා වයිරසය ව්‍යාප්තිය නිසාය. එලෙස මෙරටට පැමිණි ශිෂ්‍ය පිරිස හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී මෙසේ අබිරහස් යානය හා සෙසු යානා දැක ඇත. මෙම අබිරහස් යානා දුටු වෛද්‍ය ශිෂ්‍ය ප්‍රසාන් ජයරංග (25) මහතා සිද්ධිය විස්තර කළේ මෙලෙසිනි.
“අපි හිටියේ හතර වැනි තට්ටුවේ. මම බැල්කනියට වෙලා ඉන්න කොට නිකමට වගේ අහස දිහා බලද්දී අමුතුම එළි විහිදුවන මේ වස්තුව දැක්කා. යාළුවන්ටත් මම කතා කළා. මුලින්ම අපි දැක්කේ රතු පාටට හුරු ලයිට් එළි. ටික වේලාවක් යද්දී රතුපාට තැඹිලි පාටට හැරුණා. නමුත් මේ අබිරහස් යානය එකම තැන නතර කරලයි තිබුණේ. ඒ වනකොට වේලාව රාත්‍රි 7.30ට විතර ඇති. අපිට විනාඩි දහයක් විතර මේක හොඳට පෙනුණා. මුලින් අපිට හිතුණේ ලයිට් හයි කරපු සරුංගලයක් කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා අපට දැනුණා. චන්ද්‍රිකාවක්ද කියලත් අපට හිතුණා. ඒත් මේක ඒ වගේ දෙයක් නොවෙයි අමුතු පාවෙන පීරිසියක් තමයි කියලා දැනුණා. ඇත්තටම අපි ගුවන් යානා දැකලා තියෙනවා. මේක එහෙම එකක් නෙවෙයි.”
සිද්ධිය දුටු වෛද්‍ය ශිෂ්‍ය සාලිය උඩුවැල්ල,
“රෑ 7.30 පහුවුණා විතරයි ලයිට් එළි පේළියක් තමයි මුලින් දැක්කේ. අංශක 35ත් 45ත් විතර ඇළයකින් තමයි ඒක දිස්වුණේ. සාලින්ක් චන්ද්රිකාවන්ද කියලා අපට හිතුණා. ඒ එළිය හරිම අමුතුයි. අපි දකින අහසේ යන ගුවන් යානයක් නොවෙයි ඒක. එක පැත්තකින් ඒක පීරිසියක් වගේ. තවත් පැත්තකින් ඒක ත්රිකෝණාකාරව දිස්වුණා. කිරිබත් කෑල්ලක හැඩයෙනුත් දිස් වුණා. අපේ වෛද්‍ය ශිෂ්‍යයන් දස දෙනෙක් විතර ඒක හොඳට දැක්කා.”
“අපිට එදා රෑ නින්ද ගියේ නෑ. රෑ 11.45ට විතර අපි අහස දිහා බලන් ඉන්න කොට තමයි ඉතිරි යානා හතර දැක්කේ ඒවාත් කිරිබත් කෑල්ලක හැඩ ඇති ත්‍රිකෝණාකාර හැඩයෙන් තමයි අපි දැක්කේ.”
වෛද්‍ය ශිෂ්‍යයන් වන දිනුක රන්දුල, කණිෂ්ක ලක්මාල්, දිනුල රූපසිංහ, ආකාශ් සෙට්ටි හා ෂෙවොන් සුබසිංහ ඇතුළු පිරිසක්ද ඒ පිළිබඳ අදහස් පළ කළහ. මහාචාර්ය චන්දන ජයරත්න
මෙවැනි පිටසක්වළ ජීවීන් රැගත් යානා ඒමට බැරිකමක් නෑ. අපට වඩා දියුණු සත්ත්වයන් විශ්වය තුළ සිටිය හැකියි. මෙවැනි සිද්ධීන්වලට අදාළ ඡායාරූප පවා තියෙනවා. මෙම සිද්ධීන් පිළිබඳව ලොව පුරා පරීක්ෂණ සිදුවනවා” යැයි තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා කීය.
“නමුත් මෙසේ යම්කිසි පිටසක්වළ යානාවක් ආවේ නම් එය රේඩාර් පද්ධතියට හසුවිය යුතුයි කියා සිතනවා. ඇතැම් විට එසේ නොවිය හැකියි. ලෝකයේ මෙවැනි යානා සම්බන්ධ සිදුවීම් තිබෙනවා. ඡායාරූප පවා ලබාගෙන තියෙනවා. නමුත් හෝමාගම සිද්ධිය කුමක්ද යන්න විස්තර මා සතුව නෑ. නමුත් සෞරග්‍රහ මණ්ඩලය තුළ පෘථිවියට වඩා විශාල, දියුණු සත්ත්වයන් ජීවත් විය හැකියි. ඒක පිළිබඳ තර්ක නෑ.”
ඇමෙරිකාව හා රුසියාව වැනි රටවල පවා රේඩාර් පද්ධතියට හසු නොවන ගුවන් යානා නිපදවා තිබෙන බැවින් පිටසක්වලින් පැමිණෙන යානා තිබේ නම් ඒවා හසුකර ගැනීමට තරම් රේඩාර් පද්ධති දියුණු නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය අධ්යක්ෂ ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ගුවන් සීමාවට පැමිණෙන ගුවන් යානා හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා රේඩාර් පද්ධතිය පිටසක්වළ යානා නිරීක්ෂණයට ලක් කළ හැකි තරම් දියුණු එකක් නොවන බවද හෙතෙම කීය.
ඇමෙරිකාව, රුසියාව, චීනය වැනි දියුණු රටවල් ඔවුන්ගේ ඇතැම් යානා රේඩාර් පද්ධතියට හසු නොවන පරිදි නිර්මාණය කර ඇතැයි ද රේඩාර් පද්ධතිය සැකසී ඇත්තේ එම පද්ධතියෙන් නිකුත් කරන කිරණ යානාවල වැදී සිදුවන නිරීක්ෂණ ක්‍රමවේදයක් හරහා යැයිද සඳහන් කළේය. ඒ අනුව යානාවල ගල්වන කිරණ උරාගන්නා ආලේපිත (තීන්ත) මඟින් වුවද රේඩාර් පද්ධතියට හසු නොවන පරිදි ගුවන් යානා සැකසිය හැකි බවද ගුවන් හමුදා මාධ්‍ය අධ්යක්ෂ විජේසිංහ සඳහන් කළේය.
මව්බිම
Share This Article