මත්කුඩු ජාවාරම්කාර රියාස් නානාගේ ගෝලයන් 13 ක් මහනුවරදී අත්අඩංගුවට
Friday, 05 June 2020 - 8:19 | Views - 8,889

මහා පරිමාණ මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින රියාස් නානා නැමැත්තාගේ ගෝලයින් 13 දෙනෙකු තලාතුඔය දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර - රන්දෙනිගල - මහවැලි රජමාවතේ - ගුරුදෙනිය ප්‍රදේශයේදී එක් පුද්ගලයෙකු සැක කටයුතු ලෙස රැඳී සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 01 බැගින් සකස් කරන ලද මත්කුඩු පැකට් 40 ක් සොයා ගැනීමට එම නිලධාරීන් සමත් වුණා.
පසුව ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ දැනට පල්ලේකැලේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රියාස් නානා නැමැත්තාගේ උපදෙස් මත අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බවයි.
එමෙන්ම, මොහුගෙන් මත්කුඩු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි තවත් පුද්ගලයින් 12 දෙනෙකු පොලිසිය ඊයේ දිනයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනා මහනුවර - කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක්ද ඒ අතර සිටින බවයි වැටලීමට එක්වූ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තබා එහි දේපලවලට හානි සිදුකිරීමේ සිද්ධියට අදාළව රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මතයි. එම සැකකරු පසුගිය 29 වැනිදා අදාළ හෝටලයට වෙඩි පහරදීමට සම්බන්ධ අයෙකු බව පොලිසිය සඳහන් කළා.
36 හැවිරිදි ඔහු පෙරේදා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ රත්මලාන - මහින්ද මාවතේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Share This Article