පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් කොවිඩ් ආසාදිතයෙක්
Thursday, 04 June 2020 - 11:43 | Views - 3,082

පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ක්‍රියාවකින් මියගිය ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්, කොවිඩ් -19 ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි විදෙස් වාර්තා කියා සිටියා.
අමෙරිකාවේ මිනෙසෝටාහී දී 45 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කරනු ලැබුවේ පසුගිය 25 වනදායි.
මෙම කළු ජාතිකයා නිරායුධව පොලිස් භාරයට පත්වන ආකාරය ආරක්ෂක කැමරා වල මෙලෙස සටහන්ව තිබූ අතර ජංගම දුරකතනයක සටහන් වූ දර්ශනයක දැක්වුණේ එක් නිලධාරියෙකු පාදයෙන් ෆ්ලොයිඩ් ගේ ගෙළ සිරකරගෙන සිටින ආකාරයයි.
මෙම සිද්ධියත් සමඟ යුක්තිය ඉල්ලා මිනෙසෝටා වලින් ඇරඹි විරෝධතා අමෙරිකාව පුරා හිස ඔසවනු ලැබුවා.
අයි කාන්ට් බ්‍රීත් හෙවත් මට හුස්ම ගැනීමට අපහසුයි යනුවෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් අවසන් වරට කළ ආයාචනය විරෝධතාකරුවන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වී තිබෙනවා.
මේ අතර ධවල මන්දිරය ඉදිරිපිට ද අඛණ්ඩව විරෝධතා වල නිරත පිරිස් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා.
කෙසේ වෙතත් හූස්ටන් ඇතුළු ප්‍රාන්ත රැසක පොලිස් නිලධාරීන් ද විරෝධතාවලට සහයදීමට එක්ව සිටිනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ කළු ජාතිකයන්ට අකටයුතුකම් රැසක් සිදුවන බවට චෝදනා එල්ල වන්නේ සුළු ජන වර්ගවලට එරෙහිව ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ ද පදනම් කර ගනිමින්.
ඒ අනුව, මේ වනවිට අමෙරිකාවේ ගොඩනැගෙන විරෝධතා ජෝර්ජ් ෆ්ලොයිඩ් හට සාධාරණයක් අපේක්ෂා කිරීම මෙන්ම ජනපති ට්‍රම්ප් විරෝධයක් බවට ද පත්ව තිබෙනවා.
Share This Article