මෙරටින් ප්‍රතික්ෂේප වුවද ලොව ප්‍රබලතම හමුදාවට එක්ව සිහිනය ජයගත් ලාංකීය තරුණයා දැන් කියන කතාව
Wednesday, 03 June 2020 - 11:52 | Views - 514
සමාජ මාධ්‍ය ඔස්සේ ලියූ සටහනක් හේතුවෙන් කතාබහට ලක්වූ ,ඇමරිකානු හමුදාවේ සාමාජිකයෙකු ලෙස සේවය කරන අනුජ් පූජිත ගුණවර්ධන නමැති ශ්‍රී ලංකේය තරුණයා දැන් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

සිය සිහිනය ගැනත්, සිහින දකින තරුණ තරුණියන් ගැනත් ඔහු එහි සඳහන් කරනවා.

සිහින සැබෑ කරගන්නා ආකාරය ඔහු ඉතා සරලව පැහැදිලි කරන්නේ සිය අත්දැකීම් ඇසුරු කර ගනිමින්.

ඇමරිකා එක්සත් ජනපද හමුදාවට එක්ව අධිතාක්ෂණික හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කරුවෙක් ලෙස සිය සේවාව එරට හමුදාවට ලබාදෙන අනුජ් කොළඹ අසෝක විදුහලේ ආදී සිසුවෙක්.

තම උපන් මව්බිමේ ආරක්ෂක හමුදාවට එක්වීමට අවස්ථා දෙකකදී උත්සහ කළත් එම උත්සාහයන් ව්‍යර්ථවී යන, මෙම තරුණයා ආරක්ෂක අංශයට එක්වීමට තිබූ ආශාව ඉෂ්ඨකරගන්නේ ලොව ප්‍රමුඛතම හමුදාවට එක් වෙමින්.

තමන්ට අත්විඳීම සිදුවූ ප්‍රතික්ෂේප වීම් සහ සිය අත්දැකීම් එක්කරමින් අනුජ් සිය මුහුණු පොතේ මෙම සටහන පළකර තිබුණා.

"මට හමුදාවට බැඳෙන්න ඕන වුණේ අවුරුදු දහඅටේ දි .මම මගේ මව් රටේදී සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වෙනවා . ඒ කැඩෙට් නිලධාරියෙක් විදියට හමුදාවට බැඳෙන්න .

මූලික ශාරීරික යෝග්‍යතාවය නැහැ කියලා එතනදි මාව ප්‍රතික්ෂේප වෙනවා.

ඒ නියමිත බර සහ පපුව නොතිබූ නිසා.

නිල ඇඳුමට තිබුන ආසාව නිසා දෙවැනි වරටත් මම ඒ සම්මුඛ පරීක්ෂණයට ම යනවා ඊළඟ අවුරුද්දේ.

' ආපහු එනවා නම් හොඳට කාලා ඇඟ හදාගෙන එන්න ' කියල එතන ඉන්න අය මට හිනා වුණා. ඒ සැරෙත් සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්. ඒ දවසේ ගොඩක් දුකෙන් ගෙදර ආවා.

තුන්වෙනි සැරේට රහස් පොලිස් සේවයට බැඳෙන්න අයදුම් පතක් ඉදිරිපත් කළා. සම්මුඛ පරීක්ෂණයක් පවා නැතිව , මාව අදාළ තනතුරට බඳවා නොගන්නා බවට ලිපියක් යොමු කර තිබුණා. දිගින් දිගටම ප්‍රතික්ෂේප වීම නිසා මම නැවතත් ආරක්ෂක අංශයේ රැකියා සදහා ඉල්ලුම් කිරීම නතර කළා. ඒත් හැමදාම නිළ ඇඳුමට ආදරේ කලා. හමුදාවට එක්වන හීනෙ කවදාවත් හිතින් අත්හැරියේ නැහැ.

ඔය අතරතුර කාලයේදී ඇමරිකා එක්සත් ජනපදය ට එන්න අවස්ථාව මට ලැබෙනවා . එහි දී වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටින අවස්ථාවක , හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පිරිසක් බදවා ගැනීම් සඳහා පාසලට පැමිණ ළමුන් සමග කතා බහ කරමින් සිටිනවා මම දකිනවා. මම මේ සංවාදය අසා සිටින්නේ ඉතාම ඕනෑකමින්. එහි සිටි නිලධාරියෙක් එකවරම මගෙන් මෙහෙම අහනවා.

'කැමති නැද්ද හමුදාවට එකතු වෙන්න ?'

'කැමතියි ' දෙවරක් නොසිතාම මම උත්තර දෙනවා. එතනින් පස්සෙ සිද්ද වෙන හැම දෙයක්ම හීනයක් වගේ. හමුදාවේ ලිඛිත පරීක්ෂණය වගේම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙනුත් මම සමත් වෙනවා.

අද මම ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ අධිතාක්ෂණික හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කරුවෙක්. AH 64 Apache කියන්නෙ ලෝකෙ තියෙන බලගතුම ප්‍රහාරක හෙලිකොප්ටර් යානය.

ප්‍රතික්ෂේප වීම් කියන්නේම ජීවිතයට ආශිර්වාදයක් . හීන පස්සේ දුවන්න . ඒ හීන ඇත්තටම සිද්ධ වෙනවා වගේ දකින්න. අන්තිමට ඔබ ජයග්‍රහණය කරනවා.
ඒක ස්ථිරයි."

මේ සටහන නිසා කතාබහට ලක්වූ ඇමරිකානු හමුදාවේ සාමාජිකයෙකු ලෙස සේවය කරන අනුජ් පූජිත ගුණවර්ධන, දැන් නිකුත් කර තිබෙන වීඩියෝව පහතින්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top