සිකුරාදා රාත්‍රියේ උතුරු ඉන්දියාව හරහා හමා ගිය චණ්ඩ මාරුතයට මැදිවූ අග්‍රා නුවර ලෝක ප්‍රකට ටජ්මහල් මන්දිරයේ යමුනා ගඟ පිහිටි පාර්ශ්වයේ අත්වැල් ප්‍රාකාර වැටක කිරිගරුඬ සහ රක්ත පාෂාණමය කොටස් කිහිපයක් කඩා වැටී ඇත. ලෝකයේ පුදුම හතට අයත් මෙම විස්මිත මැදුරේ ප්‍රධාන ශාලාවට හෙවත් සොහොන් ගැබට පිටුපස පිහිටි එම අත්වැල් ප්‍රකාරය එහි ගෝලාකාර පංච ශිඛරයන්ට පහතින් පිහිටා තිබේ. මන්දිරයේ ප්‍රධාන කොටසට හානි සිදුව නැතැයි එහි භාරකරුවෝ පවසති.
ඉන්දියාවට එන සංචාරකයන් අතර ඉහළම ආකර්ෂණය දිනාගත් පුරාවිද්යාස්ථානය වන මෙය කොවිඩ් වසංගතය නිසා මාර්තු මැද සිට ජනතාවට විවෘත වූයේ නැත. කෙසේ වෙතත් සිකුරාදා සිදුවූ කුණාටුව සහ අසනි වර්ෂාව නිසා උත්තර ප්‍රදේශයේ පුද්ගලයෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
යථෝක්ත අත්වැල් ප්‍රාකාරය මතට ඇද වැටී ඇත්තේ පසෙක තිබූ ආධාරක වානේ පලංචියකි. සිදුවී ඇති හානිය පිළිසකර කිරීම සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 20ක් පමණ වැය වනු ඇතැයි එරට පුරාවිද්‍යා ගවේෂණ ආයතනය ඇස්තමේන්තු කර ඇත.
විනාශ වූ කිරිගරුඬ පුවරුව අඩි 9ක් දිගු වන අතර රක්ත වර්ණ වාලුක පාෂාණ කොටස අඩි 6ක් දිගය. බටහිර දිශාවේ දැවමුවා ද්වාරය පොළොවෙන් මඳක් ඉදිරී තිබේ. පැයට කිලෝමීටර් 125ක පමණ වේගයෙන් හමාගිය කුණාටු සුළඟ නිසා සංචාරකයන් රැඳී සිටින ශාලාවක පියෙසි ආස්තරණයකටද හානි සිදුවී ඇතැයි පුරාවිද්‍යා නිලධාරී වසන්ත් කුමාර් ස්වර්ණකාර් ප්‍රංශ පුවත් සේවය සමඟ පැවැසීය.
ෂා ජහන් නම් මෝගල් අධිරාජයා විසින් 1631දී දරු ප්‍රසූතියක් අතරතුර මිය ගිය සිය ආදරණීය බිසව පිළිබඳ සිහිවටනයක් ලෙස ගොඩනඟන ලද මෙම සොහොන් ගර්භය ආදරයේ සංකේතයක් ලෙස ගරු බුහුමනට පාත්‍ර වන්නකි.