15හැවිරිදි පාසල් සිසුවියක විවාහ කර ගන්නා බවට පොරොන්දුවී ලැගුම්හල්වලදී බස් කොන්දොස්තරවරයෙකු කරපු අපරාධය
Tuesday, 02 June 2020 - 8:58 | Views - 10,600

පහළොස් හැවිරිදි පාසල් සිසුවියක විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී ඇය රවටාගෙන ගොස් ලැගුම් හල්වලදී සහ තමා සේවය කළ පෞද්ගලික බස් රථය තුළදී වරින් වර දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටි පෞද්ගලික බස්රථ කොන්‍ෙදාස්තරවරයකු එකී චෝදනාවන්ට වරදකරු බවට නිගමනය කළ උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ සහ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ හිටපු විනිසුරු සහ දකුණු පළාත්බද මාතර සිවිල් අභියාචනා මහාධිකරණයේ වත්මන් විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතා ඔහුට වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
ඊට අමතරව පැමිණිලිකාර තැනැත්තියට මුදලින් රුපියල් තුන් ලක්ෂ පන් දහසක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැරහරින්නේ නම් විත්තිකරුට තවත් මාස 48ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.
ඊටද අමතරව මුදලින් රුපියල් දහනව දහසක දඩ මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් ලිහිල් වැඩ සහිත මාස 94ක සිරදඬුවමකටද යටත් කෙරිණි.
මෙසේ දඬුවම් නියම වූයේ කහටගස්දිගිලිය පහළ කුඩාපට්ටිය පදිංචි විවාහක පෞද්ගලික බස් රියදුරකුටය. ස්වකීය තීන්දුව ලබා දෙමින් විත්තිකරුට දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.
මෙම විත්තිකරු හොරොව්පොතාන සිට අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙන පෞද්ගලික බසයේ කොන්‍ෙදාස්තරවරයා ලෙස සේවය කර ඇති අතර මෙම නඩුවේ පැමිණිලිකාර 15 හැවිරිදි දැරිය එම බස් රථයෙන් වරින් වර පාසල් සහ උපකාරක පන්ති සඳහා ගමන් කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය. ඒ අතරතුර විත්තිකාර කොන්‍ෙදාස්තරවරයා තමන් අවිවාහක බව පවසා ඇය සමඟ ප්‍රේම සබඳතාවක් ඇතිකරගෙන 15 හැවිරිදි එම බාල වයස්කාර පාසල් සිසුවිය විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී ඇති බවද නඩු විභාගයේදී කියැවිණි.
එසේ පවසා දැරිය රවටා විත්තිකරු සේවය කරන බස් රථය තුළදී සහ විවිධ ස්ථානවල ලැගුම්හල්වලට දැරිය රැගෙන ගොස් වරින් වර අවස්ථා ගණනාවක් ඇය බරපතළ ලෙස දූෂණය කර ඇති බවද අධිකරණයේදී හෙළි වූ අතර ඇය විත්තිකරු විසින් බරපතළ ලෙස දූෂණය කර ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. ඒ. කරුණාතිලක මහතා මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාව මඟින්ද තහවුරු කර තිබිණි.
සිද්ධිය පිළිබඳ මූලික විමර්ශන කහටගස්දිගිලිය පොලිසිය මඟින් මෙහෙයවා තිබූ අතර නඩුවේ ලඝු නොවන මූලික විභාගය කහටගස්දිගිලිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කර තිබිණි.
2011 වසරේ ජූලි මස 10 වැනි දින හෝ ඊට ආසන්න දින කිහිපයකදී අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කහටගස්දිගිලියේදී විත්තිකරු මෙම අපරාධය සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 364 (2) (ඉ) සහ 354 වගන්ති ප්‍රකාරව විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ නඩු පවරනු ලැබුවේ 2017 වසරේ අප්‍රේල් මස 24 වැනි දිනය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ තුෂාරි විජේනායක මහත්මිය පෙනී සිටියාය. මහාධිකරණ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතා උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ සහ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරුවරයාව සිටියදී මෙම නඩුවේ විභාගය අවසන් කර තිබූ අතර අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යළි පැමිණ එහි තීන්දුව මෙලෙස ලබා දෙනු ලැබීය.
උපුටා ගැනීම - මව්බිම පුවත්පත
Make a Comment
Share This Article