පාස්කු බෝම්බකරුවන් වසර කිහිපයකට පෙර සිදුකළ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ තොරතුරු එළියට
Friday, 29 May 2020 - 13:59 | Views - 579

පාස්කු ඉරුදින දෙහිවලදී බෝම්බය පුපුරුවාගත් ප්‍රහාරකයා සහ ෂැංග්‍රිලා හෝටලයේ දෙවන බෝම්බකරු අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට වසර කිහිපයකට පෙර තොරතුරු පැවති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා.
ඒ බුද්ධි අංශ උසස් නිලධරියෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.
කොමිසම හමුවේ ඊයේ රාත්‍රියේ සාක්ෂි ලබාදෙමින් බුද්ධි අංශයේ උසස් නිලධාරියා සදහන් කළේ පාස්කු ඉරුදින කොළඹ හෝටල් කිහිපයක හා දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාරවලින් සුළු මොහොතකට පසු තම අංශයේ අධ්යක්ෂවරයා තමන් අමතා රාජකාරියක් භාරදුන් බවයි මෙම ප්‍රහාර එල්ල කරල තියෙන්නෙ ආගමික අන්තවාදීන්ගෙන් බවට සමාජ මාධ්‍යවලත් හුවමාරු වෙනවා.
ඉක්මනින් සොයා බලන්න යැයි තමන්ට උපදෙස් ලැබුණු බවත් ඉන් පසු එලෙස පල වූ වාර්තා අනුව තම අංශය සතුව පැවති බුද්ධි තොරතුරු මත සැකසහිත පුද්ගලයන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවත් සාක්ෂිකරු පැවසුවා.
කොමිසම එහිදී විමසා සිටියේ මොහොමඩ් ලතීෆ් ජමිල් මොහොමඩ් නමැති පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු තිබුනේද යන්නයි.
එහිදී ලෙස පිළිතුරු දුන් සාක්ෂිකරු වැඩිදුරටත් සදහන් කළේ ජමිල් නමැත්තා අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට පෙර සිටම තොරතුරු පැවති බවයි.
ඒ අනුව පාස්කු ප්‍රහාරය සිදුවී කෙටි වේලාවක් ඇතුලත තමන් සහ බුද්ධි අංශයේ කණ්ඩායමක් වැල්ලම්පිටිය ලංසියාවත්ත ප්‍රදේශයේ තිබූ ජමිල් මොහොමඩ්ගේ නිවසට යාම සදහා පිටත් වූ බවත් ඒ වනවිට තම අංශයට අනුයුක්ත ක්ෂේත්‍ර ආවේක්ශන නිලධාරීන් සැකකරුගේ නිවස පිහිටි ස්ථානය දැන සිටි බැවින් එම
නිවස පරීක්ෂාවට ලක් කළ බව සාක්ෂිකරු සදහන් කළා.
එහෙත් ජමිල් එහි නොසිටි නිසා ඊට නුදුරින් පිහිටි ජමිල්ගේ බිරිඳගේ නිවසට තමන් ඇතුලු නිලධාරීන් පැම්ණි බව ඔහු සදහන් කළා.
එහිදී ජමිල්ගේ බිරිදගේ පියා සහා සහෝදරයාගෙන් තමන් ජමිල්ගේ මිතුරෙකු ලෙස හදුන්වාදෙමින් ඔහු නිවසේ සිටිනවාද යන්න විමසූ බව සාක්ෂිකරු සදහන් කළා.
නිවැසියන් එහිදී සදහන් කර ඇත්තේ ජමිල් දින දෙකකට පෙර ආගම් ප්‍රචාරය සදහා නිවසින් බැහැරවන බව දන්වා ගිය බවයි.
ජමිල් වෙත දුරකතන ඇමතුමක් ලබාදෙන්නැයි තමන් නිවැසියන්ට පැවසූ බවත් ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිත වී ඇතැයි නිවැසියන් පැවසූ බවත් සාක්ෂිකරු සදහන් කළා.
ජමිල්ගෙන් ඇමතුමක් ලැබුනහොත් දැනුවත් කරන්නැයි අංකයක් ලබා දී තමන් ඇතුලු පිරිසක එම ස්ථානයෙන් පිටත්ව ගොස් තම අධ්යක්ෂවරයාට ඇමතුමක් ලබාගෙන සිදුවීම පැහැදිලි කර බව ඔහු සදහන් කළා.
සාක්ෂිකරු වැඩිදුරටත් සදහන් කළේ, තමා බුද්ධි අංශයේයැයි අනාවරණ කර නිවැසියන්ගෙන් තොරතුරු ලබාගැනිමට යළි උත්සහ කරන්නදැයි අධ්යක්ෂවරයාගෙන් විමසූ බවයි.
ඊට අවසර ලැබුනු නිසා යලි ජමිල් මොහොමඩ්ගේ බිරිදගේ නිවසට ගොස් තමන් ආරක්ෂක අමාත්යාංශයේයැයි පවසා අද උදේ සිදුවුන ප්‍රහාරවලට ජමිල්ගේ සම්බන්ධයක් තිබෙන බවට තොරතුරු තිබෙනවා.
ජමිල්බේරාගන්න අවශ්‍යනම් ඔහු ගැන නිවැරදි තොරතුරු ලබාදෙන්න යැයි තමන් ජමිල්ගේ බිරිඳට පැවසූ බව සාක්ෂිකරු සදහන් කළා.
එහිදී ජමිල්ගේ බිරිද පවසා ඇත්තේ, ජමිල් ටික වේලවකට කලින් තමන්ට ඇමතුමක් ලබාගත් බවත් ඔහු වැල්ලවත්තේ පිහිටි පල්ලියක රැදී සිටින බවට පැවසූ බවයි.
අදාල පල්ලියේ ආරක්ෂක නිලධාරියාට ජමිල්ගේ අනන්‍යතාව ගැටලුවක් වී ඇති නිසා ඔහු පිළිබද තොරතුරු සනාථ කරන්නැයි ජමිල් පැවසූ බවත් තමා අදාල ආරක්ෂක නිලධාරියාට ජමිල්ගේ අනන්‍යතාව තහවුරු කළ බව ජමිල්ගේ බිරිද පැවසූ බව සාක්ෂිකරු සදහන් කළා.
එහිදී ඇයගේ දුරකතනයෙන් අදාල ආරක්ෂක නිලධාරියාට ඇමතුමක් තමන් විසින් ලබාගෙන ජමිල් එම ස්ථනයේ රැදී සිටින්නේදැයි විමසූවත් සැකකරු වැල්ලවත්තේ පිහිටි පල්ලියේ සිට ත්‍රීරෝද රථයක නැග මුහුදුබඩ මාර්ගය ඔස්සේ දෙහිවලට ගිය බව ආරක්ෂක නිලධාරියා සදහන් කළ බව සාක්ෂිකරු පැවසුවා.
එම සිදුවීම සම්බන්ධයෙන් යළිත් වරක් තම අධ්යක්ෂවරයා අමතා දැනුවත් කිරීමෙන් පසු මොහොමඩ් ඊබ්‍රහයිම් ඉල්හාම් ගැන ඉක්මනින් තොරතුරු අනාවරණය කරගන්නා ලෙස උපදෙස් ලැබුනු බව සාක්ෂිකරු සදහන් කළා.
කොමිසම එහිදී ප්‍රශ්න කළේ මොහොමඩ් ඊබ්‍රහයිම් ඉල්හාම් සම්බන්ධයෙන් ද තොරතුරු පැවතියේ ද යන්නයි.
ඉල්හාම් නමැත්තා ද අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට මීට පෙර තොරතුරු ලැබී තිබූ බවත් තම අංශයට සම්බන්ධ ක්ෂේත්‍ර ආවේක්ශන නිලධාරීන් දෙමටගොඩ පිහිටි සැකකරුගේ නිවස සොයාගෙන තිබු බව සාක්ෂිකරු සදහන් කළා.
එම නිවස පරීක්ෂා කිරීම සදහා තමන් ඇතුළු කණ්ඩායම ජමිල් මොහොමඩ්ගේ බිරිදගේ නිවසින් පිටත් වී ඔරුගොඩවත්ත ප්‍රදේශයට පැමිණෙන අවස්ථාවේ විනාඩි පහළොවක් වැනි කාල පරාසයක දෙහිවල සහ දෙමටගොඩ ප්‍රදේශවලින් බෝම්බ පිපිරීම් වාර්තා වූ බව සාක්ෂිකරු සදහන් කළා.
ඒ අනුව දෙහිවල බෝමබයේ ප්‍රහාරකයා ජමිල් මොහොමඩ් බවට තමන් අනුමාන කළ බවත් දෙමටගොඩප්රහාරකයා මොහොමඩ් ඊබ්‍රහයිම් ඉල්හාම් බවට ද අනුමාන කරමින් දෙමටගොඩ පිහිටි නිවසට පැමිණි බව සාක්ෂිකරු පැවසුවා.
කෙසේවෙතත් දෙමටගොඩ පිහිටි නිවසේ දොරකඩට පිවිසෙනවාත් සමගම නිවස තුළ තවත් බෝම්බයක් පුපුරා ගිය බවත් ඒ වනවිටත් නිවසේ විශේෂ කාර්ය බලකායේ සෙබලුන් රැදී සිටි බවත් සාක්ෂිකරු සදහන් කලා.
එම නිවසේ සිට ඉල්හාම් නමැති සැකකරුගේ පියා අත්අඩංගුවට පත්වූ බවද ඔහු වැඩිදුරත් සදහන් කළා.
Share This Article