කොවිඩ් 19 වැලැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ප්‍රධානත්වයෙන් අද රැස්වෙයි
Tuesday, 26 May 2020 - 13:42 | Views - 851

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ විදෙස් රටවලින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 157 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඒ අතර කුවේට් රාජ්‍යයෙන් පැමිණි 90 දෙනෙකු සහ ඩුබායි රාජ්‍යයෙන් පැමිණි 18 දෙනෙකු ද සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම, අනෙක් පුද්ගලයින් මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයකින් පැමිණි අය බව ද යුද හමුදාපතිවරයා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
මේ අතර, බෙලරූස් සහ ඕස් ලියාවේ සිට ඉදිරි දින කිහිපයේ පැමිණීමට නියමිත ගුවන් යානා දෙක හැර සැලසුම් කර තිබූ අනෙකුත් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි ප්‍රකාශ කළේ කුවේටයේ සිට පසුගියදා දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන් පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම පියවර ගත් බවයි.
එසේම මෙම පිරිස පැමිණි යානා දෙකට සේවා සැපයූ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට ද පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, කොවිඞ් 19 වැලැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද නැවතත් රැස්වනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ මෙහිදී ද පැන නැගී ඇති මෙම තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් සාකච්ජා වනු ඇති බවයි.
කෙසේ වෙතත්, කොරෝනා පැතිර යාමත් සමඟම මෙරටට පැමිණි දකුණු කොරියාවේ සේවයේ නියුතු 160 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මත්තල ගුවන් තොටුපළෙන් අද දකුණු කොරියාව බලා යලි පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. එම්. වී. වන්සේකර පැවසුවේ මෙරට කොරෝනා පැතිර යාම ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා කිසිදු ශ්‍රමිකයෙකු අලුතින් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමට නොහැකි වූ බවයි.
මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 1182ක් වාර්තා වන අතර ඉන් 695ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව ද 332 දක්වා ඉහළ ගොස් ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී දිවයිනේ රෝහල් රැසක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 477ක්.
කුවේට් සිට පැමිණි කොරෝනා ආසාදිත කාන්තාවක් මිය යාමත් සමඟ ඊයේ මෙරට 10 වන කොරෝනා මරණය ද වාර්තා වුණා.
Share This Article