ඇඳිරි නීතිය වෙලාවේ, කාටත් රහසින් උමා ඔයට පනින්න ගිය තරුණිය
Tuesday, 26 May 2020 - 8:05 | Views - 1,201

ඇඳිරි නීතියද පැවැති පෙරේදා (24දා) පස්වරුවේ වැලිමඩ උමා ඔය ව්‍යාපාරයේ පුහුල්පොල ජලාශයෙන් පැන සිය දිවි නසා ගැනීමට තැත් කළ තරුණිය කවුදැයි සොයාගැනීමට මේ වනවිට පොලිස් පරීක්ෂණ අරම්භ වී තිබෙනවා.
බදුල්ල දෙසින් වැලිමඩ මාර්ගයේ සුදු පැහැති මෝටර් රථයක් ජලාශය අසලට පැමිණ ඇති අතර එයින් එක්වරම බැසගත් තරුණියක් ජලාශයේ වේල්ල දෙසට දිව ගොස් එයින් පැනීමට උත්සාහ දරා ඇති බව සඳහන්.
තරුණිය ගැන සැක සිතූ ජලාශයේ ආරක්ෂක අංශ දිව ගොස් වේල්ලෙන් පැනීමට උත්සාහ දැරූ තරුණිය අල්ලා බේරාගෙන තිබෙනවා.
අනතුරුව තරුණිය හඩමින් තමන් හට මවුපියන්ට මුහුණදීමට නොහැකිව ඇති බව පවසා ඇය පැමිණි මෝටර් රථයටම නැවත ගොඩ වී තිබෙනවා.
මෝටර් රථයේ තවත් පුද්ගලයන් දෙදෙනකුද සිට ඇති බව ආරක්ෂක අංශ විසින් දැක ඇති අතර ඔවුන් වැලිමඩ දෙසට වේගයෙන් මෝටර් රථය ධාවනය කර ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධව ආරක්ෂක අංශ විසින් පොලිසිය දැනුවත් කර තිබෙනවා.
මේ වනවිට ලැබුණු මෝටර් රථයේ අංකය ඔස්සේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ වී ඇති අතර එම මෝටර් රථය බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් වූවක් බවට මූලික පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.
බණ්ඩාරවෙල කොට්ඨාස භාර පොලිස් අධිකාරි එන්.සී. අතුල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඩබ්ලිව්. හේරත් මහතාගේ මූලිකත්වයෙන් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
බොරලන්ද - සමන් නැදුන්ගමුව
මව්බිම පුවත්පත
Share This Article