ඉලක්කගත සහ දැඩි ක්‍රියාමාර්ගවලින් කොරෝනා පාලනය කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හින්දු පුවත්පතට කියයි
Monday, 25 May 2020 - 7:53 | Views - 1,124

ඉලක්කගත සහ දැඩි පාලන පියවරවලින් ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට හැකිවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඉන්දියාවේ හින්දු පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.
එම පුවත්පතේ කොළඹ වාර්තාකාරිනිය වන මීරා සිරිනිවාසන් ඔහු සමඟ සංවාදයට පෙර ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පාලනය පිළිබඳව පූර්විකාවක්ද ඉදිරිපත් කළා.
එහිදී ඇය සඳහන් කළේ ලොව දැවැන්ත සහ ප්‍රබල රටවල පවා කොරෝනා වෛරස් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යද්දී මිලියන 21ක ජනගහණයක් සහිත ශ්‍රී ලංකාව ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව කැපී පෙනෙන පහළ මට්ටමක පවත්වාගැනීමට සමත්ව ඇති බවයි.
එම ජයග්‍රහණයේදී කලින් සැළසුම් කොට කඩිනමින් ක්‍රියාත්මක වීම වෙසෙසින් ඉවහල් වූ බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.
එහිදී හුදෙක් සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව ප්‍රායෝගික පියවර අනුගමනය කිරීම ද වැදගත් වූ කරුණක්.
එම සැළසුම්ගත ක්‍රියාවලියෙන් මෙරට කොරෝනා වෛරසය බොහෝදුරට පාලනය කිරීමට හැකිවූ බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.
එහිදී හින්දු වාර්තාකාරිනිය ඔහු වෙත යොමුකළ පැනයක් වූයේ කොරෝනා වෛරසය පාලනය කිරීමේ ක්‍රියාවලිය සඳහා හමුදාවේ ඍජු සහය ලබාගත්තේ මන්ද යන්නයි.
එහිදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ නිරෝධායන පහසුකම් කඩිනමින් සකස් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොතිබූ බවයි.
එහෙත් දැන් එවැනි මධ්‍යස්ථාන 50 ක් මෙරට ක්‍රියාත්මකයි.
ඒවායින් බොහොමයක් ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන අතර, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින්ද කොරෝනා වෛරස් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබනවා.
මේ නිසා ආරක්ෂක හමුදාවල සහය නොමැතිව ශ්‍රී ලංකාවට කොරෝනා වෛරස් ව්‍යාප්තිය සාර්ථක ලෙස පාලනය කිරීමට නොහැකිවීමට ඉඩ තිබූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article