ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරයි
Sunday, 24 May 2020 - 9:09 | Views - 2,486

ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් මෙන්ම ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව, අද රාමසාන් උත්සවය සමරනවා.
පුරා මාසයක් උපවාස ශීලය රැකීමෙන් පසු නව සඳ දැකීමත් සමඟ ඇරඹෙන රාමසාන් උත්සවය මුස්ලිම් ජනතාවට ආගමික වශයෙන් සුවිශේෂි දිනයක්.
කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ ඊයේ නව සඳ දැකීමත් සමඟ අද රාමසාන් සමරන බවයි.
මේ අතර, රාමසාන් සමයේ අවිශ්වාසය, සැකය දුරු කර ශුද්ධ අල් කුරානයේ ඉගැන්වීම් දැඩිව ධාරණය කර ගත යුතු බව තම විශ්වාසය බව රාමසාන් වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
අතිශය සංකීර්ණ පෙර නොවූ විරූ අර්බුදයකට සමස්ත ලෝකවාසීන් මුහුණදී සිටින මෙවන් වකවානුවක සහනශීලි වටපිටාවක් නිර්මාණය කර ගත හැකි වන්නේ අන්‍යයන් කෙරෙහි සංවේදී වීමෙන් සහ ආත්ම දමනයෙන් යැයි රාමසාන් සමයේ සමාජයට දෙන පණිවුඩයක් බව එහි දැක්වෙනවා.
ස්වයං පාලනයක් යටතේ ඉවසීම ප්‍රගුණ කරමින් අන් අයගේ යහපත උදෙසා ඉස්ලාම් භක්තිකයින් රාමසාන් කාලය යොදා ගතයුතු බව සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
කොරෝනා වසංගතය හමුවේ මුස්ලිම් බැතිමතුන් සියලූදෙනා ආගමික, සංස්කෘතික හා සමාජීය වශයෙන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බව පවසන අග්‍රාමාත්‍යවරයා සියලූදෙනාගේ කාර්යභාරය වන්නේ සිය පවුල ආරක්ෂා කර ගනිමින් මෙම අභියෝගය ජය ගැනීම සඳහා කැප වීම බව ද පෙන්වා දෙනවා.
මේ අතර, කොරෝනා වෛරසය වැලැක්වීමේ පියවර ලෙසින් ආරක්ෂක සහ සෞඛ්‍ය බලධාරින් නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ පිලිපැදිය යුතු බැවින් මෙවර රාමසාන් උත්සවය ඉතා චාම් ආකාරයෙන් සමරන ලෙස සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
එම නිර්දේශවලට අනුව රාමසාන් උත්සවය සැමරීම නිවසට පමණක් සීමා කරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ.
Share This Article