ලංගම ගොඩගන්න ජනපතිගෙන් යෝජනා මාලාවක්
Friday, 22 May 2020 - 8:16 | Views - 810

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලාභ ලබන ප්රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.
භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබාදිය හැකි රාජ්‍ය ආයතනයක් බවට ලංගම පත්කිරීමට හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ලංකා ගමන ගමන මණ්ඩලයේ වත්මන් තත්ත්වය විමර්ශනය සඳහා අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියාසිටියා.
සතියේ දිනවල පෙරවරුවේ සහ පස්වරුවේ දැඩි මාර්ග තදබදයක් පවතින බැවින් එය සමනය කිරීම සඳහා සිය මෝටර් රථයෙන් කාර්යාලවලට යන පිරිස් පොදු ප්‍රවාහන සේවයට එක් කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
ඊට පිළියමක් ලෙස තෝරාගත් ස්ථානයක මෝටර් රථය නවතා සේවා ස්ථානයට බස් රථයෙන් ගමන් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් (Park and Drive) කඩිනමින් හඳුන්වා දෙන ලෙසටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යෝජනා කර ඇත්තේ.
උපරිම පහසුකම් සහිත බස් රථ ඊට එක්කළයුතු බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
පාසල් සිසුන් සඳහා ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පාසල් බස් සේවය ප්‍රවර්ධනය කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
පාසල් බස් රථ කහ පාට ගන්වා මහා මාර්ගයේ දී ප්රමුඛත්වයක් ලැබෙන ආකාරයෙන් ධාවනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ වර්ණ දෙකක් යටතේ ධාවනයට යෙදවීමේ වැදගත්කම ද මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දී තිබෙනවා.
සේවක දිරිගැන්වීම, නව ක්‍රම හඳුන්වාදීම, නාස්තිය අවම කිරීම සහ හොරකමට තිත තැබීම සඳහා විධිමත් පියවර අනුගමනය කිරීම ගැන ද සාකච්ඡාවට ලක්වී
තිබෙනවා.
ආයතනය දියුණු කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් පර්යේෂණ සහ සමීක්ෂණ සිදු කළයුතුව ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
4500ක පමණ දක්ෂ කාර්මික නිලධාරීන් කණ්ඩායමක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සිටින බැවින් ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන ආයතනයෙන් පිටත නඩත්තු කිරීම් සඳහා ඇණවුම් භාරගැනීමෙන් මුදල් ඉපයීමට හැකි බව ද ගෝඨාභය රාජපක්ෂ ජමහතා සඳහන් කළා.
ප්‍රයෝජනයට නොගත් විශාල භූමි ප්‍රමාණයක් ලංගම සතු බැවින් එම ඉඩම් නිසි කළමනාකරණයෙන් ද මුදල් ඉපයීමට හැකි බවයි ඔහු කියාසිටියේ.
ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට කෘෂි අස්වනු ප්‍රවාහනයෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද සහන සැලසීමේ හැකියාව ලංගම සතුව ඇති බව ද ජනාධිපතිවරයා කියසිටියා.
පුහුණු පාසල් තවදුරටත් දියුණු කර සේවක දැනුම පුළුල් කිරීමේ වැදගත්කම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන් අතර කෙටි, මධ්‍ය හා දිගු කාලීන සැලැස්මකට අනුව සමස්ථ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
Share This Article