හදිසි අනතුරකින් පසු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාමා මියගිය පුවත අසා බෑනාද මියගිහින්
Wednesday, 20 May 2020 - 9:07 | Views - 655

රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි මාමාගේ මිය යෑම දරා ගැනීමට නොහැකි වූ ඔහු ළඟ සිටි බෑනාද ළය පැළී මිය යෑමේ සිද්ධියක් ඊයේ (18) නාවලපිටිය රෝහලින් වාර්තා වනවා.
මෙසේ මිය ගොස් ඇති දෙදෙනා වූයේ ගිනිගත්හේන සමන්පුර ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි සී.කේ. දියලගොඩ නමැති මාමා හා 35 හැවිරිදි මලිත් ගජනායක නමැති බෑනා යන දෙදෙනා බවයි පැවසෙන්නේ.
ගසක් කැපීමට ගොස් සිදුවූ අනතුරක් නිසා මෙම මාමා රෝහල් ගතකර ප්‍රතිකාර ගනිමින් සිට ඇති අතර ඔහුගේ ආවතේව කටයුතු සඳහා ඔහුගේ දුව විවාහ කරගත් බෑනාද රෝහලේ සිට ඇත.
මේ අතර ඊයේ අලුයම 3.45ට පමණ මාමා රෝහලේදීම මියගොස් ඇති අතර අලුයම 04ට ඒ බව රෝහල් කාර්ය මණ්ඩලය විසින් බෑනාට දැනුම් දී තිබෙනවා.
එය ඇසූ බෑනාට හෘද රෝගයක් වැලඳී ඇති අතර පසුව ඔහුද එහිදීම මියගොස් තිබෙන බවයි වාර්තාවන්නේ.
මලිත් ගජනායක වූ මොහුගේ බිරිඳද (මියගිය මාමාගේ දුව) හෙදියක ලෙස මෙම රෝහලේ සේවය කරන අතර මේ අවාසනාවන්ත සිද්ධියෙන් ඇය දැඩි ලෙස කම්පාවට පත්ව ඇත.
මොවුන්ගේ මරණ පරීක්ෂණ කටයුතු ඊයේ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණා.
නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. හරේන්ද්‍ර කළුගම්පිටිය මහතාගේ උපදෙස් මත රෝහල් පොලිසියේ පො.කො. අබේරත්න (75696) මහතා විසින් පරීක්ෂණ කටයුතු සිදු කරනවා.
ගම්පොළ - මාධව බණ්ඩාර - මව්බිම
Share This Article