අවදානම් නොවන දිස්ත්‍රික්ක අතර බස් ධාවනය අද සිට
Wednesday, 20 May 2020 - 8:53 | Views - 1,454

අවදානමක් නොමැති දිස්ත්‍රික්ක හා පළාත් අතර පොදු මගී බස් රථ ධාවනයට අද සිට අවසර ලැබෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මෙලෙස පොදු මගී බස් රථ ධාවනය වුවද ඒවායේ ගමන් කිරීමට හැකිවන්නේ අත්‍යාවශ්‍ය කාරණාවලට පමණක් බවත්, බස් රථ තුළදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අනිවාර්ය බවත් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක අධිඅවදානම් කලාප ලෙසද කළුතර සහ පුත්තලම අවදානම් කලාප ලෙසද තවදුරටත් සළකන හෙයින් එම දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට පොදු මගී බස් රථවලට අවසර හිමිවන්නේ නැහැ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍යාංශයේදී ඊයේ පැවති අතර, ඊට පොලිස්, සෞඛ්‍ය, ලංගම, දුම්රිය, ජාතික ගමනාගමන කොමිසන් සභාව මෙන්ම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීවල සභාපතිවරුන්ද එක්ව සිටියා.
මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවා අද සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ එක්දින සේවාව හැර අනෙකුත් සේවාවන් අද සිට ක්‍රියාත්මක කරනු ලබන්නේ මීට පෙර දිනයක් සහ වේලාවක් වෙන් කරගත් අයට පමණක් බවයි.
කොරෝනා වසංගතය හේතුවෙන් මාර්තු මස 16 වනදා සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු අත්හිටවනු ලැබුවා.
Share This Article