මෙරට වයස්ගතම 96 හැවිරිදි කොරෝනා ආසාදිත කාන්තාව පූර්ණ සුවය ලබයි
Tuesday, 19 May 2020 - 20:15 | Views - 209

ශ්‍රී ලංකාවේ කොරෝනා වැළඳුනු වයස්ගතම ආසාදිතයා වූ 96 හැවිරිදි කාන්තාව ද සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.
බේරුවල සිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණු ඇයට කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගැනීමෙන් අනතුරුව වැලිකන්ද රෝහලට ඇතුළත් කෙරුණු අතර, පාචන තත්ත්වයක් හේතුවෙන් පසුව අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර එවා තිබුණා.
මේ අතර ඉතාමත් කෙටි කාලයක් තුළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ හිරු ටී වී ඔස්සේ විකාශය වූ රට සහ හෙට වැඩසටහනට එක්වෙමින්.
මේ අතර කොරෝනා වෛරසය වැළඳුනු තවත් පුද්ගලයින් 10 දෙනෙකු අද සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ සමඟම සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 569 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ ආසාදිතයන් 6 දෙනෙකු මෙන්ම ඉරණවිල රෝහලේ සහ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ආසාදිතයන් දෙදෙනෙකු බැගින් එලෙස අද සුවය ලබා පිටව ගොස් ඇති බව සඳහන්.
මේ අතර තවදුරටත් කොරෝනා ආසාදිත රෝගීන් 414 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.
එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව සිට සුවය ලැබූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 209 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
Share This Article