කළු, ගිං, නිල්වලා අවදානම් - පැය 9 කදී වැඩිම වර්ෂාපතනය නුවරඑළියට
Tuesday, 19 May 2020 - 20:04 | Views - 577

බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ක්‍රියාත්මක අතිප්‍රචණ්ඩ අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
දිවයින හරහා සුළඟේ වේගයද විටින් විට පැයට කිලෝමීටර් 50 ත්, 60 ත් අතර අගයක් දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.
මීට අමතරව කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් සහ නිල්වලා ගඟ පිටබැද්දර ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට පැමිණ තිබෙනවා.
ගිං ගඟේ ඉහළ ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් නෙළුව, තවලම, කොටපොල ප්‍රදේශවල පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගාල්ල - නෙළුව ප්‍රදේශයේ පවුල් 12 ක පුද්ගලයින් මේ වනවිට සිය නිවෙස්වලින් ඉවත්ව ගොස් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 135 කට හානි සිදුව ඇති අතර, ඉන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පුද්ගල මරණ දෙකක් වාර්තාවුණා.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම සඳහන් කළේ රත්නපුර - වේවැල්වත්ත - බටේවෙල - තෝරකන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 09 ක කුඩා දරුවෙකු පස් කණ්ඩියකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
රත්නපුර - ලේල්ලූපිටිය - බැරන්ඩුව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස්කන්ඩියක් කඩා වැටීමෙන් 30 හැවිරිදි කාන්තාවක් ද අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා.
එමෙන්ම, රත්නපුර කහන්ගම ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී එහි සිටි මවක හා 24 හැවිරිදි ඇයගේ දියණිය තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා.
පැල්මඩුල්ල - කුට්ටපිටිය තේ කර්මාන්ත ශාලාවට ඉහල කඳු ප්‍රදේශයේ සිට පහල නිවාස දෙසට අවදානම් ලෙස ගලා ආ ජල පහරක් හේතුවෙන් නිවාස 17 ක 60 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමටද පොලිසිය අද පියවර ගත්තා.
පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයෙන්ද ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබුණා.
මේ අතර කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර නගරයේ කොටසක් ජලයෙන් යටවී ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.
බලංගොඩ බස් නැවතුම්පලද ඉතිහාසයේ ප්‍රථම වතාවට අද ජලයෙන් යටවූ බව එහි සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.
පොලීසිය ප්‍රකාශ කළේ වලවේ ගඟේ අතු ගංගාවක් වන දොරවෙල ගංගාව පිටාර ගැලීම හේතුවෙන් මෙලෙස ජල ගැලීම් තත්ත්වයක් හට ගෙන ඇති බවයි.
එමෙන්ම, අධික වැසි හේතුවෙන් මස්කෙළිය - සාමිමලේ - ගවරවිල වතුයායේ බාග්රෝ කොටසේ වතු නිවාස 26 ක් අද ජලයෙන් යටවුණා.
ඉහළ කොත්මලේ ජලාශයේ ජලපෝෂක ප්‍රදේශවලට අද අලූයම සිට ඇදහැලෙන වර්ෂාපතනයත් සමඟ එම ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරීමට පියවර ගැනුණා.
තවදුරටත් තද වැසි ඇද හැලුනහොත් ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔය දෙපස පහත්බිම්වල පදිංචි ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රී ජලාශය දක්වා ගලා බසින කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම ඉහළ යෑම නිසා බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරු නිවාස 14 ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා.
කොටගල - රොග්ගිල් වත්තේ පිහිටි වතු නිවාස 50 ක් ජලයෙන් යට වීම නිසා පුද්ගලයින් 180 දෙනෙකු පමණ අසීරුතාවයට පත්ව ඇති බවද හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.
වර්ෂාව සමඟ ඇති වූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අඟුණුකොලපැලැස්ස රෝහලේ මෘත ශරීරාගාරයට ගසක් කඩා වැටී එහි වහලයට දැඩි හානි සිදුව තිබුණා.
කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යෑම නිසා බුලත්සිංහල, මිල්ලනිය, පාලින්දනුවර සහ මදුරාවල ප්‍රදේශවල පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
පවතින තත්ත්වයත් සමඟ ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්කවල හඳුනාගත් ස්ථාන සඳහා පනවා තිබූ නායයෑමේ අවදානම් අනතුරු ඇඟවීම හෙට පස්වරු 2.30 දක්වා දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළා.
අද පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය - අප්කොට් ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර, එහි අගය මිලිමීටර 173.5 ක්.
Share This Article