ගිං ගඟේ පහත් බිම්වල වෙසෙන ජනතාවට දැනුම්දීමක්
Tuesday, 19 May 2020 - 14:19 | Views - 564

ගිං ගඟේ ඉහළ ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් පහත් බිම්වලට ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
විශේෂයෙන් නෙළුව, තවලම, කොටපොල ප්‍රදේශවල පහත් බිම්වල වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ එස්.පී.සී. සුගීෂ්වර සඳහන් කළේ.
මේ අතර නෙළුව ප්‍රදේශයේ පවුල් 12 ක පුද්ගලයින් මේ වනවිට සිය නිවෙස්වලින් ඉවත්ව ගොස් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 135 කට හානි සිදුව ඇති අතර, ඉන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ සඳහන් කළේ.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්කයේ තවත් පුද්ගල මරණයක් වාර්තාවනවා.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම සඳහන් කළේ රත්නපුර - අළුපොල ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙකු පස් කණ්ඩියකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. රත්නපුර - ලේල්ලූපිටිය - බැරන්දූව ප්‍රදේශයේ වෙළද සැලක් මතට පස්කන්ඩියක් කඩා වැටීමෙන් 30 හැවිරිදි කාන්තාවක් ද අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා.
මේ අතර කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර නගරයේ කොටසක් මේ වනවිට ජලයෙන් යටවී ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.
Share This Article