යුධ හමුදාවේ නිලධාරීන් 177කට උසස් වීම් - ආන්දෝලනයට ලක් වූ බ්‍රිගේඩියර් ප්‍රියංක මේජර් ජෙනරාල් තනතුරට
Tuesday, 19 May 2020 - 12:37 | Views - 1,904

යුද හමුදාවේ නිලධාරින් 177 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උසස් කර තිබෙනවා.
යුද්ධය අවසන් කර වසර 11 ක් සපිරීම නිමිත්තෙන් යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ඉල්ලීකට අනුව මෙම උසස් වීම් ලබාදී ඇති බවයි යුද හමුදාව සදහන් කළේ.
නව මේජර් ජනරාල්වරුන් 5 දෙනෙකු, ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වෙච්ඡා බලකායේ බ්‍රිගේඩියර්වරුන් 4 දෙනෙකු, ලූතිනන් කර්නල්වරුන් 39 දෙනෙකු, මේජර් නිලයන් සදහා 69 ක් හා ලූතිනන් නිලය සදහා 60 දෙනෙකු මෙලෙස උසස් කර ඇති බවයි යුද හමුදාව නිවේදනය කළේ.
මෙලෙස මේජර් ජනරාල් නිලයට උසස් වීම් ලැබූ නිලධාරින් අතරට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ද ඇතුළත්.
2018 වසරේ නිදහස් දිනයදා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණයකදී තර්ජනාත්මක හස්ත සංඥාවක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වුණා.
පසුව පැවති නඩු විභාගයේදී වෙස්ට්මිනිස්ටර් අධිකරණය ඔහුව වරදකරු බවට පත් කළ අතර, නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම අධිකරණය නියෝග කළේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගෙන් දඩයක් ලෙස ස්ටර්ලිං පවුම් 2400ක් අය කර නඩුව අවසන් කරන ලෙසයි.
මේ අතර, 11 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද පස්වරු 4 ට පැවැත්වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
මෙම උත්සවයට සමගාමීව යුද හමුදාවේ සෙසු නිලයන් 14,617 දෙනෙකුට ද උසස් වීම් ලබාදීමටයි තීරණය කර ඇත්තේ. මෙම උත්සවය පස්වරු 4 සිට හිරු ටී.වී. ඔස්සේ සජීවිව විකාශය කිරීමට ද නියමිතයි.
Share This Article