වසර 21කට පසු බෙංගාල් බොක්කේ ඇති වූ ප්‍රචණ්ඩ සුළි කුණාටුව අම්පන් - පැයට කිලෝමීටර් 200 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකියි
Monday, 18 May 2020 - 20:01 | Views - 4,450

දැනුම්දීම් නොතකා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් එහි සිටි ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේ අද දහවල් බේරුවල - මග්ගොන මුහුදු තීරයේදී මෙම යාත්‍රාව මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
එම ධීවරයින් අදාළ ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වාර්තා වනවා.
අම්පන් සුළි කුණාටුව හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට පසුගිය දින කිහිපයේ දැනුම් දුන්නේ ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙසයි.
ඒ අනුව බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රා 100ක් පමණ යළි වරාය වෙත පැමිණ තිබෙනවා.
මේ අතර, දැනුම් දීම් නොතකා අද උදෑසන මීගමුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක් ද අතුරුදන්ව තිබෙනවා.
එහි ධීවරයින් දෙදෙනෙකු සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අම්පන් සුළි කුණාටුව මේ වන විට අති ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, එය බටහිර බෙංගාලය සහ බංග්ලාදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යාඥයින් මත පළ කරන්නේ.
මේ හේතුවෙන් ගිනිකොණදිග සහ යාබද නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 200 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
වසර 21කට පසු බෙංගාල් බොක්කේ ඇති වූ ප්‍රචණ්ඩ සුළි කුණාටුව මෙය බව විදෙස් වාර්තාවල සඳහන්.
මෙහි බලපෑම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විශේෂයෙන් නුවරඑළිය, මාතලේ, රත්නපුර, කෑගල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.
මේ අතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක 10කට පැනවූ නාය යාමේ අවදානම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ගත වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ නුවරඑළිය - බගවන්තලාව ප්‍රදේශයෙන්. එය මිලිමීටර් 55ක්.
Share This Article