නේපාලයේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි
Sunday, 17 May 2020 - 11:39 | Views - 532

කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී නේපාලයේ සිදුවූ ප්‍රථම මරණය ඊයේ වාර්තාවුණා. එහිදී මියගොස් ඇත්තේ මෑතකදී දරුවෙකු ප්‍රසූත කළ 29 හැවිරිදි කාන්තාවක්.
එමෙන්ම නේපාලයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවද මේ වනවිට 281 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කත්මන්ඩු අගනුවරට කිලෝමීටර 90ක් පමණ ඈතින් වූ ප්‍රදේශයක පදිංචි එම කාන්තාව ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන යන විටයි මෙලෙස මියගොස් ඇත්තේ.
ඇය කොවිඩ් 19 ආසාදනයෙන් මියගොස් ඇති බව තහවුරු වී යැයි නේපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පසුව සඳහන් කළා.
එම කාන්තාව පසුගිය මැයි 6 වනදා කත්මන්ඩු නුවර රෝහලකදී දරුවෙකු ප්‍රසූත කර ඇති අතර, ඊට පසුදින ඇය පදිංචි ගම්මානය වෙත ගොස් තිබෙනවා. ඇය උණ සහ ස්වසන ආබාධ පැවතීම හේතුවෙන් ප්‍රදේශයේ රෝහලකින්ද ප්‍රතිකාර ලබා ඇති බවයි වාර්තාවන්නේ.
නේපාල සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ඇගේ දරුවාට සහ පවුලේ අනෙකුත් සාමාජිකයන්ට වෛසරය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කරන බවයි.
නේපාල වසංගත රෝග විශේෂඥවරියක වන ලාමෝ ෂර්පා පවසන පරිදි නේපාලයේ නිල වශයෙන් වාර්තාවන ප්‍රථම කොවිඩ් මරණය මෙය වුවත්, කොරෝනා වෛරසයට ගොදුරුවී තවත් මරණ සිදුවී තිබිය හැකියි.
මිලියන 28 ක ජනගහණයක් වෙසෙන නේපාලයේ සිදුකර ඇති කොවිඩ් 19 පරීක්ෂාවන් සංඛ්‍යාව ලක්ෂයකට අඩුවන අතර, මේ නිසා ආසාදිතයන් සහ මරණ මීට වඩා වැඩි අගයක් විය හැකි බව ඇගේ අදහසයි.
කෙසේ නමුත් දෙවන කොරෝනා ආසාදිතයා හමුවීමෙන් පසු වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය මාර්තු 24 වනදා සිට නේපාලයේ නිරෝධායන රෙගුලාසි ක්‍රියාත්මකයි.
Share This Article