කොරෝනා බලපෑම හමුවේ පෝෂණ අවදානම් කලාප හඳුනාගැනීමට පර්යේෂණයක්
Friday, 15 May 2020 - 9:08 | Views - 541
පෝෂණය පිළිබඳ අවදානම් කලාප සහ අවදානම් කාණ්ඩ හඳුනා ගැනීම සඳහා පර්යේෂණයක් සිදුකරන බව වයඹ විශ්වවිද්‍යාලයේ පෝෂණය පිළිබඳ මහාචාර්ය රේණුක සිල්වා පවසනවා.
වයඹ විශ්වවිද්‍යාලය සහ ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය ලෝක ආහාර වැඩසටහන සමඟ එක්ව මෙම පර්යේෂණය සිදුකරන බවයි ඔහු කියා සිටියේ.
කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ ඉදිරියේදී ආහාර හා පෝෂණ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටළු රැසක් ඇතිවිය හැකි බවයි මහාචාර්ය රේණුක සිල්වා පෙන්වා දෙන්නේ.
එම තත්ත්වය හමුවේ අදාළ පර්යේෂණයේ තොරතුරු මත පදනම්ව ජනාධිපති කාර්ය සාධක බලකාය දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා.
මේ අතර, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා වෙළඳාම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 74ක මුදලක් පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ ජාතික වැඩසටහන වෙනුවෙන් ලබාදී තිබෙනවා.
ලෝක ආහාර වැඩසටහන නිවේදනය කළේ කොරෝනා වසංගතය නිසා පාසල් වසා තිබෙන කාලසීමාවේදී දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ඇතිවන දුෂ්කරතාවන්ට මුහුණදීමට ප්‍රාථමික පාසල් සිසුන් 80,000 කට මාසයක කාලයක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ලබාදෙනු ඇති බවයි.
Share This Article