ලෝකයම කම්පා කළ ටයිටැනික් අනතුරටත් වඩා භයානක, ටයිටැනික් චිත්‍රපටියේ බිහිසුණු රූගත කිරීම් ගැන ඔබ නොදන්න කතාවක්
Wednesday, 13 May 2020 - 15:36 | Views - 2,295
මාගේ දෙවියනි මා ඔබට සමීපව
ඉබාගාතේ යන්නකු මෙන් වුවද හිරු බැස ගියේය.
අන්ධකාරය මා කෙරෙහි වේවා !
නමුත් මගේ සිහිනවලදී මගේ දෙවියනි මා ඔබට සමීප වනු ඇත.
 
ආදී වශයෙන් වූ එම ගීතය ටයිටනික් නැවේ ඩෙක් එක මත වාදනය වූ අවසාන ගීතය විය. වාදක කණ්ඩායමේ සියළු දෙනා මියගිය බව වාර්තා වී තිබේ.

වාදක කණ්ඩායමේ ප්‍රධානියා වූ වයලීන් වාදක වොලස් හාට්ලිගේ දේහය 1912 මැයි 4 වන දින සොයා ගන්නා ලදී.

එංගලන්තයේ ලැන්කැෂයර්හි පැවති ඔහුගේ අවමංගල පෙරහැරෙහි දහස් ගණන් ජනතාව වැළපෙමින් ගමන් කළහ. නැව ගිලෙන්නට පටන්ගත් අවස්ථාවේ විසිල් නලාවක් පිඹිමින් ජීවිතාරක්ෂක බෝට්ටුවලට මගීන් නැංවූයේ ප්‍රධාන නිලධාරී හෙන්රි වයිල්ඞ් ය.
 
නැව ගිලී අවසානයේ පාවෙන මල සිරුරු අතර දිවි ගලවාගත් අය සිටීදැයි සොයමින් පැමිණෙන ගලවාගැනීමේ බෝට්ටුවට සංඥා පිණිස රෝස් පිඹින්නේ මියගිය හෙන්රිගේ මුවෙහි තිබූ නළාවය.
 
මෙහිදී පළමු නිලධාරී විලියම් මර්ඩොක්ගේ චරිතය චිත්‍රපටයෙහි නිරූපණය වූ ආකාරය පිළිබඳ ආන්දෝලනයක් හට ගෙන තිබේ.
 
නෞකාව ගිලූණු දින රාත්‍රී සේවාමුරයේ කාර්යභාර නිලධාරී ඔහු වූ අතර ජීවිතාරක්ෂක බෝට්ටුවලට නැගීමේදී වූ කලබලයේදී මර්ඩොක් මගියෙකුට වෙඩි තබයි. ඒ හා සමගම පශ්චාත්තාපයට පත්වන ඔහු තමන්ටම වෙඩි තබාගනී.
 
පසුව චිත්‍රපටය නැරඹූ මර්ඩොක්ගේ මුණුබුරකු වූ ස්කොට්, එයින් සිය මාමාගේ කීර්තිනාමයට කැළලක් වී ඇතැයි දැඩි ලෙස විරෝධය පෑවේය.
 
පසුව චිත්‍රපටයේ නිෂ්පාදකයන් වූ ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් චිත්‍රපට සමාගමේ උප සභාපතිවරයා ස්කොට්ලන්තයට ගොස් පුද්ගලිකවම ස්කොට් හමුවී ඊට සමාව අයැද සිටි අතර මර්ඩොක්ගේ උපන් ප්‍රදේශය වූ ඩල්බිටීහි පාසැලට පවුම් 5000 ක් පරිත්‍යාග කොට විලියම් මර්ඩොක් නමින් අනුස්මරණ අරමුදලක් පිහිටුවීය.
 
දර්ශනය රූගත කරන අවස්ථාවේ මර්ඩොක්ගේ චරිතය නිරූපණය කළ නළුවා වූ ජොනී පිලිප්ස් ජීවිතාරක්ෂක බෝට්ටුවලට නගින්නට පොර කන පිරිසට පිස්තෝලය එල්ල කරමින් කෑගසන්නේ,”පස්සට ගියේ නැත්නම් උඹලා සේරටම බල්ලන්ට වගේ වෙඩි තියනවා” යැයි කියමිනි.
 
එය පිටපතේ තිබූ දෙබසක් නොවීය. ඒ ගැන සතුටට පත් කැමරන් වහාම පිලිප්ස් වෙත ගොස් පැවසුවේ එය වඩා හොඳ බැවින් සමීප දර්ශනයේදී නැවත එම දෙබසම කියන ලෙසය. එවිට පිලිප්ස් ”මොකක්ද මම කිව්වේ?”යි කැමරන්ගෙන් ඇසීය. එපමණටම ඔහු ආවේගශීලීව සිටියේය.
 
නෞකාව ගිලෙනවිට නැවේ කුටියක සයනයෙහි එකිනෙකාට තුරුළුව සිටින මහළු යුවලක් හා එම කුටිය ක්‍රමයෙන් ජලයෙන් යටවන ශෝචනීය දර්ශනය ඔබට මතකද? ඔවුන් ඉසදෝර් ස්ට්‍රවුස් හා ඊඩා ස්ට්‍රවුස් නම් සැබෑ චරිත දෙකකි.

ඉසදෝර්, සමාගම් හිමිකරුවෙකු මෙන්ම හිටපු කොන්ග්‍රස් සභිකයෙකි. ඔහුගේ බිරිඳ වූ ඊඩාට ජීවිතාරක්ෂක බෝට්ටුවකට නැගීමට අවස්ථාව ලැබුණද ඇය එය ප්‍රතික්ෂේප කරන්නේ තමන් ඉසදෝර් හා විවාහ වූ දිනයේ මියයන තුරු ඔහුත් සමග සිටින බවට වූ විවාහ ප්‍රතිඥාව කඩ කළ නොහැකි බව පවසමිනි.
 
සැබෑ සිද්ධිය වනුයේ ජීවිතාරක්ෂක බෝට්ටුවට නැගීම ප්‍රතික්ෂේප කරන ඇය නැව ගිලී යනතුරු සිය සැමියා සමඟ ඩෙක් එක මත පුටු දෙකක වාඩි වී සිටියහ. පසුව හමු වූයේ ඉසදෝර්ගේ මල සිරුර පමණි. ඊඩාගේ දේහය හමු වූයේ නැත.
 
අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය ටයිටනික් නැව සොයා 1985 දී මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය. 1996 ජූලි මාසයේ චිත්‍රපටයේ රූගත කිරීම ආරම්භ කරන ලදී. මුලින්ම රූගත කරන ලද්දේ වර්තමානයේ දර්ශන වූ ගිලූණු ටයිටනික් නෞකාව ගවේෂණය කරන දර්ශන පෙළ ය.
 
චිත්‍රපටයේ ඇති දිය යට දර්ශන සැබෑ ටයිටනික් නෞකාවේ දර්ශන වේ. චිත්‍රපට කණ්ඩායම 12 වතාවක් ගිලූණු නැවෙහි රූගත කිරීම් සිදු කළ අතර නැවෙහි මගීන් යාත්‍රා කළ කාලයටත් වඩා කාලයක් කණ්ඩායම එහි ගත කළහ.

සාගර පත්ලෙහි පීඩනය වර්ග අඟලකට රාත්තල් 6000 ක් පමණ විය. එය සුළු ප්‍රමාද දෝෂයකින් වුවත් සියල්ලන්ට මරණය ළඟා විය හැකි භයානක කාර්යයක් විය. කිමිදුම් කණ්ඩායම් බොහෝ අසීරු තත්ත්වයකට පත් වූ අතර කැමරන්ට අවශ්‍ය වූ පරිදි දර්ශන රූගත කිරීමට නොහැකි විය.
 
එක් කිමිදීමකදී, රූගත කිරීම පිණිස භාවිතා කළ කුඩා සබ්මැරීනය නැව් බඳෙහි ගැටී එහි පොප්ලරය විනාශ විය. පාලනයක් නොමැතිව ඇදී ගිය සබ්මැරීනය නැවේ කපිතාන්ගේ කුටියද විසිත්ත ශාලාවේ ප්‍රධාන පඩිපෙල දොරටුවද කඩා දැමීය. කැමරන් ප්‍රකාශ කළේ,”ඒ සිද්ධිය නිසා සැබෑ නෞකාවේ දර්ශනයන් හා අප තැනූ ආකෘතියේ ප්‍රකෘති ස්ථාන සමපාත කරන්නට සිතූ දර්ශන කිහිපයක් කිරීමට නොහැකි වුණා” යනුවෙනුයි.
 
ටයිටනික් නෞකාවේ දර්ශනතල ඉදිකිරීම ආරම්භ කරන ලද්දේය. මේ වනවිට අස්ථානගතව ඇතැයි සිතූ සැබෑ ටයිටනික් නෞකාවේ සැලසුම් සටහන් ලබාදීමට නෞකාව ඉදි කළ සමාගම වූ හාලන්ඞ් ඇන්ඞ් වොල්ෆ් සමාගම කැමැත්ත පළ කළේය.
 
ෆොක්ස් නිෂ්පාදන සමාගම මෙක්සිකෝ ප්‍රාන්තයෙන් අක්කර 40 ක ජලාශයක් ඉදි කරන්නට ආරම්භ කර තිබිණි. එය ජලය ගැලූම් මිලියන 17 ක ධාරිතාවයකින් යුක්ත විය. ටයිටනික් නැවේ සැබෑ පරිමාවට සමාන ලෙස ආකෘතිය ඉදි කිරීමට තීරණය කරන ලද්දේය.
 
ජීවිතාරක්ෂක බෝට්ටු හා දුම් චිමිනි පමණක් සැබෑ ඒවාට වඩා 10% ක පරිමාවක් අඩුවෙන් ඉදිකිරීමට යෝජනා විය. නෞකාව ගිලෙන අවස්ථාව හැසිරවීම පිණිස අඩි 50 ක් එසැවිය හැකි වේදිකාවක් නිර්මාණය කරන ලදී.
 
අඩි 180 ක් දිග පීලි මත දිවෙන අඩි 162 කටත් වඩා උස දොඹකරයක් සවි කරන ලද්දේ රූගත කිරීමේදී කැමරා හා විදුලි ලාම්පු ස්ථානගත කිරීම පිණිසය. නෞකාවෙහි අමුත්තන්ගේ කාමර හා අනෙකුත් වැදගත් ස්ථාන පැරණි ඡායාරූප හා මුල් සැලැස්මවල් ඇසුරෙන් සැබෑ ලෙසම ඉදි කරන ලද්දේය.
 
චිත්‍රපටයේ කැපී පෙනෙන ස්ථානයක් වන ප්‍රධාන පඩිපෙල ඉතා ඉහළ ප්‍රමිතියකට ඉදි කරන ලද අතර රූගත කිරීමේ පහසුව පිණිස සැබෑ පඩිපෙලට සාපේක්ෂව 30%ක ප්‍රමාණයකින් විශාල කර සවි ශක්තිය පිණිස වානේ කණු භාවිතා කරන ලදී.
 
කාපට්, ගෘහ භාණ්ඩ, ලයිට්ස්, පුටු පමණක් නොව හැඳි ගෑරුප්පු හා පිඟන් භාණ්ඩ ද ටයිටනික් නෞකාවේ භාවිතා කළ ලෙසම නිර්මාණය කරන ලදී.
 
ඒවා නිවැරදිදැයි නිරීක්ෂණය පිණිස කැමරන් විසින් ටයිටනික් පුරාවෘත්තය අධ්‍යයනය කළ ඉතිහාසඥයන් වූ ඩොන් ලින්ච් හා කෙන් මාෂල් යන දෙදෙනා කැඳවන ලදී.
 
සැප්තැම්බර් මාසයේ නිෂ්පාදන කණ්ඩායම ටයිටනික් නෞකා ආකෘතියේ රූගත කිරීම් පිණිස මෙක්සිකෝහි රොසරිටෝ වෙත ගියහ. නැවෙහි ඉදිරි අර්ධය තත්පර කිහිපයකින් අංශක 90 කට සිරස් වන ලෙස කළහැකි පරිදි යෝධ සරනේරු මත සකසා තිබුණේ නැව ගිලා බැසීමේ අවසන් අවස්ථාවේ එය තනි කෙළින් ඍජුව පිහිටුවීමට අවශ්‍ය වූ නිසාය.
 
එසේම එම අවස්ථාවේ ඉහල සිට ඇද වැටෙන මගීන් ලෙස රඟපෑ ආදේශක නළුවන්ගේ ආරක්ෂාව පිණිස ඩෙක් තට්ටුවෙහි වූ භාණ්ඩ සාදා තිබුණේ සැහැල්ලූ රබර් වලිනි. සදම්ප්ටර්න් වරායෙන් නෞකාවට මගීන් ඇතුල් කරගන්නා දර්ශනය රූගත කිරීමේදී කැමරන්ට නොසිතූ ගැටළුවකට මුහුණ දීමට සිදුවිය.
 
එම වකවානුවේ මෙක්සිකෝ දර්ශනතලයේ සුළං හමන දිශාව අනුව නෞකාවේ චිමිනි වලින් දුම් පිටවීම සිදුවන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට බව පෙනී ගියේය. එය සම්පූර්ණ වැරදි තත්ත්වයක් විය. අනෙක් අතට සුළං හමන කාලය වනතුරු රූගත කිරීම කල් දැමීමේ හැකියාවක් නොවීය.
 
කැමරන් සොයාගත් විසඳුම වූයේ නළු නිළි ක්‍රියාකාරකම් විරුද්ධ දිශාවට කරන්නට උපදෙස් දීමය. උදාහරණයක් ලෙස යම් නළුවෙකු දකුණේ සිට වම පැත්තට ඇවිදින දර්ශනයක් පිටපතේ සඳහන් වුවහොත් වමේ සිට දකුණු පැත්තට ඇවිදින ලෙස රූගත කරන ලද්දේය.
 
එසේ රූගත කළ දර්ශන නිවැරදි පැත්තට හරවන ලද්දේ පසු නිෂ්පාදන කටයුතු වලදීය. ජැක්, නෞකාවේ ඉදිරි කෙළවරෙහි ආරක්ෂිත වැට මත නැගී "I’m the king of the world” යනුවෙන් කෑගසන දර්ශනයද එසේ විරුද්ධ අතට රූගත කළ දර්ශනයකි.
 
ප්‍රධාන නළු නිළි දෙපල ඇතුළු අති විශාල වූ අතිරේක නළු නිළියනට 1912 කාලයේ ප්‍රභූ පැලැන්තියේ සිරිත් විරිත් ආදිය ඉගැන්වීමට හා අධීක්ෂණය කිරීමට එම විෂයය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් නිරතුරුවම දර්ශනතලයේ රැඳී සිටියහ. (එසේ වුවද චිත්‍රපටය ප්‍රදර්ශනය වූ පසු සමහරුන් හැඳි ගැරුප්පු භාවිතා කළ අයුරු වැරදි යැයි පැවසූ විචාරකයන් සිටියහ)
 
චිත්‍රපටයේ වර්තමාන දර්ශන රූගත කොට අවසන්ව මෙක්සිකෝ නෞකා දර්ශනතලය වෙත නිෂ්පාදන කණ්ඩායම පැමිණි අවස්ථාවේ රූගත කිරීමට සැලසුම් කොට තිබූ මුල් දර්ශනය එම ස්ථානයේ වැඩ අවසන්ව නොතිබීම හේතුවෙන් කිරීමට නොහැකි විය.
 
ඒ වෙනුවට ජැක් විසින් රෝස්ගේ නිරුවත චිත්‍රයට නැගීමේ දර්ශනය රූගත කිරීමට තීරණය කරන ලදී. කැප්‍රියෝ හා කේට් ට කැමරාවට මුහුණ දීමට සිදු වූ මුල්ම දර්ශනය එය විය.
 
අනපේක්ෂිත ලෙස ඇය හා රඟපාන්නට වන මුල්ම දර්ශනය එය වීමෙන් කැප්‍රියෝ සිටියේ කැළඹීමෙනි. ඔහු රෝස්ගේ නිරුවත් චිත්‍රය ඇඳීමට සූදානම්ව ඇයට පවසන්නේ over on the bed…..the couch යනුවෙනි. නමුත් පිටපතෙහි එම දෙබස සටහන්ව තිබුණේ Lie on that couch ලෙසය. ලියනාඩෝට වූ එම වැරදීම කැමරන් අනුමත කළෙන් චිත්‍රපටයේ එන්නේ එම දෙබසය.
 
කේට්ගේ නිරුවත් සිතුවම අඳින ලද්දේ කැමරන් විසිනි. රෝස්ගේ නිරුවත් සිතුවම අඳින සමීප රූපවල ඇත්තේ ලියනාඩෝගේ අත නොව කැමරන්ගේ අතය. කැමරන් වමත හුරු අයෙකු වූ බැවින් චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු වලදී ලියනාඩෝ අඳින්නාක් මෙන් පෙනෙන ලෙස එය දකුණත ලෙස හරවනු ලැබිය. එපමණක් නොව ජැක් ඔහුගේ චිත්‍ර බෑගයෙන් රෝස්ට පෙන්වන සියළුම චිත්‍ර අඳින ලද්දේ කැමරන් ය.
 
රූගත කිරීමට අවතීර්ණ වූ විට කැමරන් හොලිවුඩයේ භයානකම මිනිසා විය. අඩි 162 ක් උස දොඹකරයේ නැගී මෙගාෆෝනය අතට ගෙන ඩෙසිබල් 300 ක පමණ ධ්වනි සංඛ්‍යාතයකින් ඔහු විශාල අතිරේක නළුනිළි කැළට අණ දුන්නේය.
 
චිත්‍රපටය රූගත කිරීම යුද්ධයක් හා සමාන විය. සෑම දිනකම ඉතා විශාල අතිරේක නළුනිළියන් රාශියක් හා වැඩ කිරීමට සිදු වී තිබුණි. නිෂ්පාදන කණ්ඩායම මහත් පීඩනයකින් සිටියහ. වරෙක කෝපයට පත් කණ්ඩායමේ කිසිවකු රාත්‍රී සුප් පානයකට විසක් එක් කර තිබිණි. 50 අධික සංඛ්‍යාවක් රෝහල්ගත කිරීමට සිදු විය. සුප් ආහාරයට ගත් වහාම වමනය දැමූ බැවින් කැමරන්ට වැඩි හානියක් සිදු නොවීය.
 
එහෙත් රංගන ශිල්පි ලෙවිස් ඇබර්නති පැවසුවේ මෙසේය. ”කැමරන් දුටු වහාම මම කම්පනයට පත් වුණා. ඔහුගේ එක ඇසක් සම්පූර්ණයෙන්ම රතු පාට වී තිබුණා, හරියට ටර්මිනේටර්ගේ වගේ.” වස කළවම් කළ පුද්ගලයා සොයා ගැනීමට නොහැකි විය.
 
දින 138 කට සැළසුම් කොට තිබූ රූගත කිරීමේ සැළසුම දින 160 ක් දක්වා ඉහළ ගියේය. සීතල ජලයේ බැස සිටීම නිසා කේට් ඇතුළු බොහෝ අයට සෙම්ප්‍රතිශ්‍යාව, උණ හා වකුගඩු ආසාදන වැළඳුණේය. රූගත කිරීම අවසන් වනවිට ඇය තීරණය කර තිබුණේ කෙතරම් මුදල් ලැබුණද යළි කැමරන් සමඟ වැඩ නොකරන්නටය.
 
ප්‍රධාන පඩිපෙලෙහි සියළු දර්ශන රූගත කොට අවසාන දර්ශනය ලෙස එයට ජල කඳ කඩා වදින දර්ශනය රූගත කරන ලද්දේය. කැමරන් සිතූ පරිදිම එය දෙවන රූගත කිරීමකට යා නොහැකි ලෙස එහි සියළුම ගෘහ භාණ්ඩ ඇතුළු සියල්ල ජල පහරට විනාශ විය.
 
ප්‍රධාන පඩිපෙලට ජල පහර ඇතුල්වන දර්ශනය සඳහා ජලය ලීටර් 350,000 ක් අධි පීඩනයක් යටතේ මුදා හරින ලදී. නැවෙහි ඇතුලත දර්ශන සඳහා භාවිතා කළ ජල ප්‍රමාණය ලීටර් මිලියන 19 කට අධික විය. නෞකාව දෙකට මැදින් කැඞී යන දර්ශනය රූගත කිරීම පිණිස අඩි 65 ක් දිගු වූ නැවෙහි කුඩා ආකෘතියක් නිර්මාණය කරන ලදී. පසු නිෂ්පාදන අවධියේදී මගීන් ඊට අනුරූප වන සේ ප්‍රමාණයෙන් කුඩා කිරීමට සිදු විය. නැව ගිලා බැසීමේ අවසාන අවස්ථාවේ දුර රූප, කුඩා ආකෘතිය යොදා ගනිමින් රූපගත කරනු ලැබුවේ ඒ ආකාරයෙනි.
 
චිත්‍රපටයේ අතිරේක නළුනිළියන්ගේ ක්‍රියාකාරකම් බොහොමයක් නිර්මාණය කරන ලද්දේ දිවි ගලවාගත් මගීන්ගේ සැබෑ අත්දැකීම් ඇසුරෙනි. එක් දර්ශනයක කුඩා දැරියන් දෙදෙනකු ජීවිතාරක්ෂක බෝට්ටුවකට නංවන ඔවුන්ගේ පියා පවසනුයේ,”අම්මගෙ අත අල්ලාගෙන හොඳ ළමයෙක් වගේ ඉන්න” යනුවෙනි. ඊවා හාර්ට් නම් වූ දැරිය පසු කලෙක පැවසුවේ පියා තමාට පැවසූ අවසන් වදන් එය බවය.
 
මිලියන 15 ක ජල ධාරිතාවයකින් යුත් ජලාශයේ මල සිරුරු පාවෙමින් තිබෙන දර්ශනයේ එම අතිරේක ශිල්පීන්ගේ සිරුරුවල ජලයට අනාවරණය වූ විට ස්ඵටීකරණය වන විශේෂ පව්ඩර් වර්ගයක් ආලේප කරන ලදී. හිස කෙස්වල හා ඇඳුම් වල වැක්ස් ආලේප කරන ලද්දේය. එම සිරුරු සීතලට ගල් වී තිබෙන පෙනුම ලබාගත්තේ ඒ ආකාරයෙනි. ටයිටනික් ගිලෙන අවස්ථාවේ ඊට වඩාත් ආසන්නයේ ගමන් ගත් නෞකාව එස් එස් කැලිෆෝනියන් නම් විය.
 
නිමල් ෆ්‍රැන්සිස්
දිවයින පුවත්පත





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top