වෙනදාට කලාකරුවන් ගැන කතා කරද්දී වැඩි වශයෙන්ම කතා කෙරෙන්නේ ඔවුන්ගේ කලා කටයුතු ගැන බව අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි. නමුත් මේ දවස්වල නම් දකින්නට ඇත්තේ ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.
මේ වනවිට ඔවුන් සම්බන්ධයෙන් කෙරෙන කතාවලට වැඩිපුරම පසුබිම් වන්නේ ඔවුන් ගෙවල්වලට වෙලා කරන දේවල් සහ කොරෝනා සටනට දායක වීම සඳහා කරමින් සිටින විවිධ සමාජ සේවා කටයුතු ආදියයි. ඉන්දියාවේ සුපිරි නළු නිළියන් බොහෝ දෙනකුද මේ ආකාරයෙන් විවිධ සමාජ සේවා මෙහෙයන් සඳහා දායක වී තිබෙනු පසුගිය දිනවල දකින්න ලැබුණා.
බොලිවුඩයේ මහා නළු අමිතාබ් බච්චන්ද තරමක් දැවැන්ත කටයුත්තකට අතගසා ඇති බවයි වාර්තා වන්නේ. ඔහු ආරම්භ කර ඇත්තේ ඉන්දියානු සිනමා කර්මාන්තයට සම්බන්ධ, මේ වනවිට අසරණව සිටින අයගේ පවුල්වලට උදවු කිරීමේ වැඩසටහනක්. ඉන්දියානු සිනමා කර්මාන්තය තුළ දෛනික වැටුප් ලබන රැකියාවන් කරමින් සිටි ලක්‍ෂයකගේ පවුල්වලට මේ වැඩසටහන යටතේ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මාසිකව ලබාදීමට බලාපොරොත්තු වන බව සඳහන්.

මේ වනවිට 77 වැනි වියෙහි පසුවන අමිතාබ් බච්චන් මෙම දැවැන්ත වැඩසටහන ක්‍රියාවට නඟන්නට යන්නේ තනිවම නොවෙයි. ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක් සහ කල්යාන් ජුවෙලර්ස් යන ආයතනද මේ සඳහා සම්බන්ධ වන බව පැවසෙනවා. මෙම වැඩසටහන ඔවුන් නම් කර ඇත්තේ WE ARE ONE යනුවෙනුයි. මෙම ආධාර වැඩපිළිවෙළ හරහා තෝරාගත් පවුල් ලක්‍ෂයකට ආධාර සැපයෙන අතර ඔවුන් වෙත ඩිජිටල් කූපන්පතක් නිකුත් කරන බවයි පැවසෙන්නේ. මෙම කූපන්පත භාවිත කරමින් සුපිරි වෙළෙඳසල් සහ ගේරාසරි වෙළෙඳසල්වලින් අදාළ පවුල්වලට එම භාණ්ඩ ලබාගත හැකියි. මෙයට අමතරව ඇතැමුන්ට මුදල් ආධාර පවා ලබා දීමට පියවර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඉන්දියාවේ සෝනි පික්චර්ස් සමාගම සහ බච්චන් අතර දැන් කාලයක සිටම සම්බන්ධතා තිබෙනවා. එම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන 'කෝන් බනෙගා කේරා්ර්පති' නමැති රියැලිටි වැඩසටහන 2010 වසරේ සිටම ඉදිරිපත් කරනු ලබන්නේ අමිතාබ් බච්චන් විසිනුයි.

මේ අතර කොරෝනා වසංගතයට අදාළව පසුගියදා නිෂ්පාදනය කෙරුණු Family නමැති කෙටි චිත්‍රපටයකටත් අමිතාබ් බච්චන් සම්බන්ධ වුණා. මෙය මෙම වසංගත සමයේ නිවසේ රැඳී සිටීම, සනීපාරක්‍ෂක ක්‍රම අනුගමනය කිරීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි පියවරවල ඇති වැදගත්කම ගැන ප්‍රේක්‍ෂකයන් දැනුම්වත් කරන සිනමා පටයක්. අමිතාබ් මෙන්ම රජිනි කාන්ත්, ප්‍රියංකා චොප්රා, රන්බීර් කපූර්, ආලියා භාත්, චිරන්ජීවි, මමුති ඇතුළු නළු නිළියන් රැසක් මෙයට දායක වී තිබුණා.
අමිතාබ් රංගනයෙන් දායක වූ තවත් දැවැන්ත සිනමා නිර්මාණයක් ගැනත් පසුගිය දිනවල විශාල අවධානයක් යොමු වුණා. එනම් 'බ්‍රහ්මස්ත්‍ර' නමැති සිනමාපටයයි. කොරෝනා වසංගතය නිසා එය තිරගත කිරීමත් කල් දමා ඇති බව වාර්තා වෙනවා. රන්බීර් කපූර්, ආලියා භාත් සහ ඩිම්පල් කපාඩියාද රඟපාන මෙම චිත්‍රපටය කොටස් තුනකින් සමන්විත බවයි සඳහන් වන්නේ. බොලිවුඩ් සිනමාවේ එවැනි සිනමාපටයක් නිර්මාණය වන්නේ පළමු වතාවට බවත් පැවසෙනවා. චිත්‍රපටයේ රූගත කිරීම් පවා තවම අවසන් නැති බව සඳහන්.
නමුත් ඒ සියලු කටයුතු දැන් කොරෝනා වසංගතය නිසා කල් දැමීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ කරන් ජොහාර් විසිනුයි. එය අයාන් මුඛර්ජිගේ අධ්‍යක්‍ෂණයක්. මෙය 2020 දෙසැම්බරයේ තිරගත කිරීමට නියමිතව තිබුණත් දැන් එය 2021 දක්වා කල් දමා තිබෙනවා. මෙම සිනමා පටය සම්බන්ධ තවත් විශේෂත්වයක් වන්නේ අමිතාබ් සහ ඩිම්පල් කපාඩියා එකට රඟපාන්නේ වසර 15 කට පසුව වීමයි. 62 වැනි වියෙහි පසුවන ඩිම්පල් කපාඩියා මෙයට දශක කිහිපයකට පෙර ඉතා ජනප්‍රිය නිළියක වූ අතර එකල අතිශයින් ආකර්ෂණීය නළුවකු වූ රාජේශ් ඛන්නා ඇයගේ සැමියායි.
සනත් වික්‍රමගේ