හඟුරන්කෙත කම්පා කරමින්, සිය මවට පහරදී අවසන් ගමන් යැවූ දියණියක් කළ පාපකර්මය
Wednesday, 13 May 2020 - 8:49 | Views - 1,263

හඟුරන්කෙත පොලිස් වසමේ පොරමඬුල්ල ග්‍රාම නිලධාරි වසමට අයත් රොටුපිහිල්ල ග්‍රාමයේ පදිංචි 75 වියැති මවක් සිය දියණියගේ පහරදීමකින් මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ නැකැත්ගෙදර නන්දාවතී නමැති ගැහැනු දරුවන් පස් දෙනකුගේ මවකි.
ඇයගේ ස්වාමියා මියගොස් වසර 11ක් පමණ ගතව ඇත. දරුවන් තිදෙනෙක් විවාහ දිවියට පත්කොට ඉතිරි දෙදෙනා සමඟින් මෙම මාතාව දිවි රැකගෙන ඇත්තේ සමෘද්ධි ආධාර සහ වැඩිහිටි ආධාර මඟිනි.
පදිංචි නිවෙස ගරා වැටෙමින් තිබියදී රොටුපිහිල්ල විහාරාධිපති පූජ්‍ය අංකුඹුරේ ධම්මසූභීති හිමියන්ගේ නායකත්වයෙන් ප්‍රදේශවාසීන්ගේ සහායෙන් පිළිසකර කරදී මියගිය ස්වාමියා වෙනුවෙන් පින් පැමිණවීමේ ආගමික වැඩසටහනක්ද පවත්වනු ලැබුවේ විහාරාධිපතින් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් ප්‍රදේශවාසීන් විසිනි.
පවුලේ සතර වැන්නා වූ 46 වියැති කේ.ජී. වසන්ති මන්ද මානසික රෝගයෙන් පෙළෙන කාන්තාවක් හෙයින් කිහිප වරක්ම සිය මවට පහරදී තුවාල කරනු ලැබූ නිසා විහාරස්ථානයට ගෙන්වා ආගමික කටයුතුවලට සහභාගි කරවා ගනිමින් සිය මවට කරදර නොකරන බවට පොරොන්දු කරවාගෙන තිබූ බව විහාරාධිපති හිමි පවසති.
කෙසේ නමුත් සිය මවට පසුගියදා කළ පහරදීමකින් ඇය මියගොස් සිටි අතර මෙම සිදුවීමෙන් පසු ඇය පොලිස් අත්අඩංගුවට ගනු ලැබ වලපනේ දිසා අධිකරණයට යොමු කිරීමට නියමිතව පවතී.
ස්ථානීය පරීක්ෂණ සිදුකළ මහනුවර සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතා සහ හඟුරන්කෙත ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති අසේල කේ. හේරත් මහතාගේ නියෝගයන් අනුව පොලිස් පරීක්ෂක රණවීර, පොලිස් සැරයන් තිලකරත්න (37437) යන නිලධාරීන් විසින් පරීක්ෂණ මෙහෙවනු ලැබීය.
එම පරීක්ෂණයේදී මන්ද මානසික රෝගී වසන්තිට නිසි පියෙක් නොමැතිව ලැබූ පිරිමි දරුවා ළදරු අවදියේදීම ඇයට නොදන්වා රහසිගත ලෙසින් සිය මෑණියන් විසින් පවුලේ අයකුගේ රැකවරණය පතා ලබාදීම ගැන මෙම ගැටුම නිර්මාණයව ඇති බව හෙළි විය. එම දරුවාට වයස අවුරුදු හයක්ව ඇති බව හෙළි විය.
වලපනේ දිසා අධිකරණයේ වැඩබලන දිසා විනිසුරු කුමාරි ජයවර්ධන මහත්මියගේ ස්ථානීය පරීක්ෂණයෙන් පසු මියගිය මාතාව මහනුවර රෝහල වෙත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කොට ලැබූ දේහය පසුගිය 10 වැනි දින අවසාන කටයුතු සිදු කරනු ලද්දේ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙනි.
රිකිල්ලගස්කඩ _ ටී. ඇම්. සෝමපාල
මව්බිම
Share This Article