පාස්කු ප්‍රහාරය ගැන දරුවන් දෙදෙනෙකු කළ විශේෂ ප්‍රකාශය (වීඩියෝ)
Tuesday, 12 May 2020 - 20:39 | Views - 978

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස්
හිස්බුල්ලා, අවි පුහුණු ලබාදීමේ සිද්ධියකට ද සම්බන්ධ බව අද අනාවරණය වුණා.
ඒ මද්රසා පාසලක ඉගෙනුම ලැබූ දරුවන් දෙදෙනෙකු අද අධිකරණය හමුවේ සිදුකළ ප්‍රකාශයක් සමඟින්.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් දරුවන් දෙදෙනෙකු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අද විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
අවුරුදු 10ට අඩු වයස්වල සිටින මෙම දරුවන් පැයකට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙම ප්‍රකාශයක් සිදුකළා.
ඔවුන් අධ්‍යාපනය ලැබූ මද්රසා පාසලේදී අන්තවාදී ඉගැන්වීම් සිදුකළ ආකාරය සහ සටන් පුහුණුව ලබාදුන් ආකාරය ද ඔවුන් එහිදී පවසා තිබෙනවා.
පාස්කු ප්‍රහාරයට පෙර මෙම දරුවන් නේවාසිකව තබාගෙන විවිධ පුහුණුවීම්වලට යොමු කරමින් ත්‍රස්ත පුහුණුවක් ලබා දී ඇති අදාළ පාසල පවත්වාගෙන ගොස් තිබෙන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධාන නිලතලවල සිටි පුද්ගලයින් පසුගිය වසරේ අප්‍රේල් 21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ
අය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
එදින බෝම්බ ප්රහාරවලදී ෂැංගිලා හා සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනෙක් මෙම පාසල පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම් ධුරය සහ භාණ්ඩාගාරික ධුරය දරමින් අදාළ මද්රසා පාසලේ දරුවන්ට අන්තවාදී දේශන පවත්වා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු අනාවරණය කළා.
පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව අම්පාර - සයින්දමර්දු නිවසක් තුළ කුඩා දරුවන් සමඟ බෝම්බයක් පුපුරවා ගනිමින් මියගිය සහරාන් හෂීම්ගේ සොහොයුරා වන මොහොමඩ් රිල්වාන් නමැත්තා ද මෙම මද්රසා පාසලේ දේශකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
එහි විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වූ නීතිඥ හිජාස් හිස්බුල්ලා බව කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ අනාවරණයක් සිදුකළ දරුවන් දෙදෙනා සඳහන් කළා.
මේ අතර, පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවට අදාළව ගොණු කර ඇති පෙත්සම් 12 විභාගය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.
ඒ, අදාළ පෙත්සම් බුවනෙක අළුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදී.
අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මෙම පෙත්සම් ලබන සැප්තැම්බර් මස 02 වැනිදා සිට අඛණ්ඩව දින 3ක් විභාගයට ගැනීමට නියෝග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධව ලේඛන ඇත්නම් ඒවා ඔහුගේ නීතිඥවරයාට භාරදීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන්නා.
Share This Article