හෙට සිට තෝරාගත් ගමනාන්ත කිහිපයක් වෙත ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අරඹයි
Tuesday, 12 May 2020 - 14:56 | Views - 4,672

හෙට සිට ලන්ඩන්, ටෝකියෝ, මෙල්බර්න් සහ හොංකොං වැනි තෝරාගත් ගමනාන්ත කිහිපයක් වෙත සිය ගුවන් ගමන් ආරම්භ කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රකාශ කරනවා.
එම නිවේදනය පහතින්
(උපුටා ගැනීම)
ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරකබ සීමාවන් ලිහිල් කිරීමෙන් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සේවය ලන්ඩන්, ටෝකියෝ (නරීටා) මෙල්බර්න් සහ හොංකොං යන රටවල, සංචාරක උපදේශන යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට සේවා
සැපයීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව, මෙම ගමනාන්තවලට හෝ ඉන් ඔබ්බට සංචාරය කිරීමට කැමති මගීන්ට දැන් ශ්‍රීලංකන් කාර්යාල හරහා හෝ ඔබේ ළඟම සංචාරක නියෝජිතයා හරහා ගුවන් ටිකට්පත් මිලදී ගත හැකිය.
වර්තමානයේ බොහෝ රජයන් විදේශයන් හි අතරමංව සිටින සංචාරකයින්ට අදාළ සංචාරක ලියකියවිලි වල නිරවද්‍යතාවය සහ නිරෝධායන කාල සීමාවන්ට යටත්ව නැවත සිය රටවලට යාමට අවසර දී ඇත. ඒ අනුව මැයි 13 වනදා සිට ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මෙම විශේෂ සංචාරක ක්‍රමය යටතේ මගීන්ට ලන්ඩන් සහ ඉන් ඔබ්බට සංචාරය කිරීමට අවස්ථාව ලබා දී තිබේ.
මෙම අර්බුදකාරී කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත සඳහා සහය දැක්වීම සඳහා ගුවන් සේවය ගමනාන්ත 17 ක් සඳහා විශේෂ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇත. ඊට මාලදිවයින වෙත සතිපතා ගුවන් ගමන් තුනක් , චෙන්නායි ,හොංකොං, සිංගප්පූරුව, ලන්ඩන්, දෝහා, ඩුබායි, මෙල්බර්න්, බීජිං, ගුවැන්ෂු (කැන්ටන්) සහ ෂැංහයි වෙත සතියකට ගුවන් ගමන් දෙක බැගින් සිදු කිරීමට නියමිතයි. මුම්බායි, කරච්චි,ලාහෝර්,ඩකා, ෆ්රැන්ක්ෆර්ට් සහ ටෝකියෝ වෙත සතියකට එක් ගුවන් ගමන් වාරය බැගින් ක්‍රියාත්මක වේ. ඒ අතරින් ලන්ඩන්, ටෝකියෝ (නරීටා) , මෙල්බර්න් සහ හොංකොං වෙත ගුවන් භාණ්ඩ මෙන්ම මගී ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
මෙම නව ගුවන් ගමන් භාවිතා කරමින් සංචාරය කිරීමට කැමති මගීන් එක් එක් රටවල නියාමන අධිකාරීන් විසින් පනවා ඇති සීමාවන් මත පදනම්ව අදාළ රටවලට ඇතුළුවීමට සුදුසුකම් ඇති බවට සහතික විය යුතුය. මෙම ක්‍රමය යටතේ සංචාරය කිරීමට අදහස් කරන මගීන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට පෙර
ඔවුන්ගේ අදාළ දේශසීමා පාලන අධිකාරීන් , ආගමන සහ විගමන බලධාරීන් හෝ ඔවුන්ගේ සංචාරක නියෝජිතයින් අමතා පරීක්ෂා කර බැලීම සිදුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය 0197331979 හෝ ඕනෑම සංචාරක නියෝජිතයෙකු අමතන්න.
Share This Article