"සර් මම මගේ මිනිහට පොරවෙන් කොටලා මැරුවා.." කියමින්, හඬාගෙන පොලිසියට පැමිණි කාන්තාවගේ පාපොච්චාරණය
Tuesday, 12 May 2020 - 13:52 | Views - 1,706

ඉකුත් පස්වැනිදා උදේ පාන්දරින් හාලිඇල පොලිසියට පැමිණි කාන්තාවක් එසේ පැවසුවා. හති දමමින් අපැහැදිලි බසින් ඇය කියන්නේ මොනවා දැයි තේරුම් ගැනීමට ඒ අවස්ථාවේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරින්ට සුළු වේලාවක් ගත වුණා.
ඔවුන්ගේ ප්‍රශ්නාර්ථ බැලුම් හමුවේ, එම කාන්තාව තවදුරටත් කීවේ තම ස්වාමිපුරුෂයා නිතර බීමත්ව පැමිණ අඬ දබර කරමින් ළමයන්ට ද පහර දෙන බවත්, ඒ කරදරය ඉවසා ගත නොහැකිව සැමියාව පොරොවකින් පහරදී ඝාතනය කළ බවයි.
ඒ අනුව හාලිඇල, නාරංගල, නවයේ කණුව, දෙබැද්ද වත්තනම් ලිපිනයේ පදිංචි 36 හැවිරිදි එම කාන්තාව අත්අඩංගුවට ගත් අතර හාලි ඇල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍රසේකර ඇතුළු පිරිසක් ඝාතනය සිදුවූ ස්ථානයට ගියා.
සිද්ධිය වූ බව කී නිවෙස අසල කිහිප දෙනෙකු එක් රොක්ව සිටියා. නිවසට ඇතුළු වූ පොලිස් කණ්ඩායම මළිසිරුර සොයන්නට වූ අතර පොරෝ පහර කීපයක් වැදීම හේතුවෙන් බරපතල කැපුම් තුවාල සහිතව මිය ගොස් සිටි පුද්ගලයාගේ දේහය කාමරයක බිම වැටී තිබුණා.
ඔහු නමින් ගම්හේවයලාගේ ගුණපාලයි. වයස අවුරුදු 37ක් වන ඔහුගේ රැකියාව කුලී වැඩයි. තිදරු පියෙකු වූ ඔහුගේ වැඩමහල් දියණියගේ වයස අවුරුදු 16ක්. අනෙක් දරු දෙදෙනා අවුරුදු 11ක් වන අතර බාල දියණියගේ වයස අවුරුදු 4ක්.
වැඩිමල් දියණියට පෙම්වතෙකුද සිටින අතර එම තරුණයා ද බොහෝ දුරට කල් ගෙවන්නේ මේ නිවසේයි.
ඝාතනය ගැන පර්යේෂණ ආරම්භ කරමින් පොලිසිය මුලින්ම මේ දරුවන්ගෙන් ප්‍රශ්න කළා. ඒ බොහෝ විට දරුවන් බොරු නොකියන බව දන්නා නිසායි.
පොලිස් කණ්ඩායමේ වැඩි අවධානය යොමු වූයේ වැඩිමල් දියණිය හා ඇගේ පෙම්වතා වෙතයි. වරින් වර ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට වූයේ පොලිසියට පැමිණ තමා ඝාතනයක් කළා බව කියන කාන්තාවගේ ඉරියව් එතරම් ස්වභාවික ඒවා නොවන නිසාත් නමුත් දියණියගේත් පෙම්වතාගෙත් ඉරියව් වල තිබූ බිය වූ ස්වභාවය නිසායි.
මෙලෙස දියණියගෙන් හා ඇගේ පෙම්වතාගෙන් වරින් වර ප්‍රශ්න කිරීමේදී, පැමිණිලිකාරිය කී දෙයට වඩා වෙනස් වූ මෙන්ම පොලිසියේ සැකයට භාජනය වී තිබූ යමක් දියණියගේ මුවින් පිටවුණා.
ඒ පියාට පොරවෙන් ගැසුවේ මව නොව තම පෙම්වතා බවයි.
ඔහු බදුල්ල, පස්සර පාර බුදුලුසිරිගම පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.
ප්‍රශ්න කිරීමේදී පෙම්වතා සම්බන්ධ තවත් පුවත් කිහිපයක්ම අනාවරණය වුණා. ඉන් එකක් වූයේ ඝාතනයට ලක් වූ ගුණපාල හා ඔහුගේ බිරිඳ විසින් මොහුට විරුද්ධව කලකට පෙර පොලිසියේ කර ඇති පැමිණිල්ලක්. අනෙක වූයේ මොහු මීට කලකට පෙර පුද්ගලයෙකුගේ ගෙළ කපා රන් මාලයක් සොරා ගැනීමේ සිදුවීමක්.
ඝාතනය වූ පුද්ගලයාත් ඔහුගේ බිරියත් මොහුට විරුද්ධව පොලිසි ගොස් තිබුණේ මොවුන්ගේ වැඩිමල් දියණිය මොහු විසින් පැහැරගෙන ගියා යන චෝදනාව කරමිනුයි.
විමර්ශනවලදී හෙළි වූයේ එය පැහැරගෙන යාමක් නොව කැමැත්තෙන් යාමක් බවයි.
එහෙත් ඇය බාලවයස්කාරියක් වීම නිසා මොහුට පැහැරගෙන යාමේ චෝදනා එල්ල වුණා.
එම පැමිණිල්ල අනුව ඔහු අත්අඩංගුවට පත් වූ අතර මේ වනවිට ඔහු මෙම නිවසට පැමිණ කල් ගෙවන්නේ අධිකරණයෙන් ඇප නියම වීමෙන් අනතුරුව බව ද තහවුරු වුණා.
මරණකරුගේ දියණියගේ ප්‍රකාශවලට අනුව ඇගේ පෙම්වතා ද අත්අඩංගුවට ගත් පොලිසිය පළමු සැකකාරියගෙන් යළි ප්‍රශ්න කළා. ඇය සැකකරු හැඳින්වූයේ චතුරංග පුතා ලෙසයි.
"කලින් නඩුවෙන් පස්සේ චතුරංග පුතා අපේ ගෙදරට නෑවිත් හිටියේ. ඒත් දැනට සති දෙක තුනකට කලින් මහත්තයාම එයාට එන්න කීවා. එදා ඉඳලා එයත් හිටියේ අපේ ගෙදර.."
"මහත්තයා හැමදාම රෑට බීගෙන ඇවිත් රණ්ඩු කරනවා. අපට ගහනවා. පුතාත් ඒ වෙලාවට එයාට අවවාද කරනවා. ඒත් එයා අහන් නෑ. එදා (14) රෑත් හොඳටම බීගෙන ආවා. පුරුදු විදිහට රංඩු කරන්න කරන්න පටන් ගත්තා. ටිකකින් රණ්ඩුව ඉවර කරලා කට්ටියම නිදාගන්න සුදානම් වුණා.."
"රෑ මැදියමේ එයා ආපහු රණ්ඩුව පටන් ගත්තා. ඒ වෙලාවේ එයා දුවටත් ගහන්න ගියා. එතකොටම චතුරංග පුතා කාමරේ තිබුණ පොරොව අරන් එයාගේ ඔළුවට ගැහුවා. ඒ පාරට එයා එතැනම වැටුණා. මම නවත්වන්න ගියෙත් නෑ. පහර කීපයක් වැදුනට පස්සේ මහත්තයා මිය ගියා. පස්සෙ එයාගේ මිනිය එහෙමම තියෙද්දි පහුවදා උදේම දරුවන් අල්ලපු ගෙදරට යවලා මම පොලිසියට ගියා.."
ඇය අල්ලපු ගෙදර යැයි කීවේ සිය නිවසටම යාව පිහිටි මරණකරුගේ සොහොයුරාගේ නිවසටයි.
කලකට පෙර ඔවුන් වෙනත් ප්‍රදේශයක පදිංචියට ගොස් ඇති අතර එම නිවසේ යතුරු භාරදී තිබුණේ ද මෙම කාන්තාවටයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉදිරියේදී කුමන දඬුවමක් ලැබුණත් තමන් දරුවන් සිටින මවක් බැවින් එහිදී යම් සහනයක් ලැබේයැයි විශ්වාස කිරීමත්, දරුවන් දඬුවම් ලැබීමෙන් වළකා ගැනීමත් අරමුණු කරගෙන තමන් පොලිසියට මුලින් බොරුවක් කී බව සැකකාරිය පිළිගත්තා.
ඒ අතර බදුල්ල මහෙස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙස නිළධාරින්ට නියෝග කළා.
පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරුත් අපරාධයකට සහය දීම, අසත්‍ය ප්‍රකාශ කිරීම, තොරතුරු වසං කිරීම, පොලිසිය නොමඟ යැවීම වැනි චෝදනා මත ඝාතනය කෙරුණ අයගේ බිරියත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා.
අධිකරණය මේ දෙදෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.
ආර්. එම්. විජේරත්න
Share This Article