සීලය නිසා ලැබුණේ ඉවසීමේ ගුණයයි
පෝයට සිල් ගැනීමේ පුරුද්ද මට ඇතිවුණේ කුඩා කාලයේදීමයි. ඒ ආදර්ශය අපට ආවේ ගෙදර පරිසරයෙන්. ඒ වගේම දහම් පාසලෙන්. සිරි විජයාරාමය ධර්මාශෝක දහම් පාසලේ අපවත් වී වදාළ දෙවුන්දර දම්රම් නායක හිමිගේ මග පෙන්වීම නිසා, ඒ කාලයේ සිටම ආගම දහමට නැඹුරු වී කටයුතු කරන්න පටන්ගත්තා. ළමුන් වඩා කැමති නැටුම් - ගැයුම් වගේ වැඩ වලට. ඒ වගේම කණ්ඩායම් වැඩ වලටත් කැමතියි. ඉතින් උන්වහන්සේ ඒ වගේ දේ සංවිධානය කරලා ළමුන්ට අවස්ථා ලබාදුන්නා. ඒ නිසා සහජ දක්ෂතා එළියට ගන්න ළමුන්ට ලැබුණෙ ලොකු අවස්ථාවක්. ශ්‍රමදාන වගේ වැඩවලටත් අපට දායක වෙන්න සිදුවුණා. පෝයදාට කලින් දවසෙ තමයි ශ්‍රමදාන කළේ. එදාට තේ බිස්කට් එහෙමත් අපට ලැබුණා. ඒවා ගෙදරින් ලැබෙන තේ බිස්කට් වලට වඩා අපට රසයි. ඒ වගේම හරි අගෙයි.
අපට පුංචි කාලයේ ඉඳලාම ලද දෙයින් සතුටු වීමටත් ‘මම’ කියන මමත්වයෙන් සෑහෙන දුරට ඈත්වෙන්න පුළුවන් වුණේ සහ මධ්‍යම ප්‍රතිපදාවට වඩාත් සමීප වුණේ ඒ දිනවල සිටම සිල් ගන්න පුරුදු වූ නිසයි.
කුඩා කාලයේ ඉඳලාම සිල් ගැනීම කළාද?
වසර ගණනාවක් තිස්සේ එය කරගෙන යනවා. අද රට මේ විදියට පවතින අවස්ථාවේදීත් ගෙදරට වෙලා සිල් සමාදන් වීමට සූදානමින් ඉන්නෙ. කලින් වතාවකදීත් මේ විදියෙ ස්වභාවයක් රටේ තිබියදී මම එහෙම කළා. පාන්දරින්ම සිල් ගන්න යන්න බැරිවූ අවස්ථාවලදී ගෙදරදී එය කළා. ඒ දිනවලට චූටි දුව දානය ගිලන්පස මට පිළිගැන්වීම කළා. ඒ දවසට බණ පොත් කියවීම වගේම භාවනාවන් හැකි විදියට කරනවා.
සීලය නිසා ජීවිතයට ලැබුණු හොඳම දේ මොකක්ද?
වැඩි හරියක්ම වෙන්නෙ අපේ සිත් දූෂ්‍ය වන එකයි. හැබැයි දහම පරිශීලනය කරනකොට ඉස්සරහාට පස්සට හිත දුවන වේගය ටිකක් අඩු වෙනවා. ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවන් වෙනවා. සීලය නිසා මට ජීවිතයට ලැබී තිබෙන්නෙ ඉවසීමේ ගුණයයි.