දිනෙන් දින ඉහළ යන කොරෝනා මරණ සංඛ්‍යාව හමුවේ අසරණ වූ කොලොම්බියාව, රෝහල් ඇඳන් මිනී පෙට්ටි බවට පත් කළ හැටි
කොවිඩ්-19 මහා ව්‍යසනයක් ලෙස පැතිර යන ලතින් ඇමරිකාවට අයත් කොලොම්බියාවේ වෛරස් ආසාදිතව මියයන දුගී ජනතාවට උපකාරයක් ලෙස එරට වෙළඳ දැන්වීම් සමාගමක් විසින් මිනී පෙට්ටියක් බවට පරිවර්තනය කළ හැකි රෝහල් ඇඳක් නිර්මාණය කර තිබෙනවා.
බොගෝටාහි ඒබීසී ඩිස්ප්ලේස් සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම රෝහල් ඇඳ කාඩ්බෝඩ් සැකිල්ලක් ආකාරයෙන් නිර්මාණය වන අතර, එම ඇඳෙහි ප්‍රතිකාර ලබන රෝගීයා මියගියහොත් එම ඇඳම ඔහුගේ මිනී පෙට්ටිය බවට පරිවර්තනය කළ හැකි බව අදාළ සමාගම සඳහන් කළා.
තම රටට ආසන්න ඉක්වදෝරයේදී මීට තරමක් සමාන නිර්මාණයක් පිළිබඳ අසන්නට ලැබීමෙන් මෙම නව නිර්මාණය සිදුකිරීමට පියවර ගත් බව අදාළ සමාගමේ කළමණාකාර රොඩල්ෆෝ ගෝමස් කියා සිටියා.
කොලොම්බියාව තුළ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්රයෙන් වැඩවීමත් සමඟ වෙරළබඩ නගරයක් වන ගුවායාකිල් හි පවුල් රැසක් තම මිය ගිය ආදරණීයයන්ගේ දේහයන් ආදාහනය කිරීමට නොහැකිව බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබුණා.
වෛරසය හමුවේ රටේ ආර්ථිකය ද අඩපණ වී ඇති පසුබිමක බොහෝ දෙනෙකුට තම ඥාතියා වෙනුවෙන් ලීයෙන් තැනූ මිනී පෙට්ටියක් මිලදී ගැනීමට වත්කමක් නොවූයෙන් ඔවුන් ඒ වෙනුවට පරිත්‍යාගශීලින්ගෙන් ලැබුණු කාඩ්බෝඩ් ඒ සඳහා යොදාගෙන තිබුණා.
"දුප්පත් මිනිස්සුන්ට මිනී පෙට්ටියක්වත් ගෙවා ගැනීමට තරම් වත්කමක් නෑ.."
ගෝමස් කියා සිටින ආකාරයට මෙම රෝහල් ඇඳම මිනී පෙට්ටිය බවට පරිවර්තනය කළ හැකි නිර්මාණය රාත්තල් 330ක් පමණ බරින් යුක්ත අතර එවැනි නිර්මාණයක් සඳහා ඇමරිකන් ඩොලර් 85ක් (රුපියල් 17, 000ක්) වැය වනවා.
සම්පත් හිඟයක් පවතින කොළොම්බියාවේ ඇමසනාස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට තම නව ඇඳන් දහයක් පරිත්‍යාග කිරීමට අදහස් කරන බව ගෝමස් පැවසුවා.
කෙසේ වෙතත් මෙම ඇඳන් රෝහලේ භාවිතයට යොදවනු ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු ඇඟවීමක් සිදු කර නොමැති අතර එවන් ඇඳක් ලබා ගැනීම පිළිබඳ ඇනවුමක් හෝ නොමැති බවයි වාර්තා වන්නේ.
කොලොම්බියාවේ මේ දක්වා කොවිඩ්-19 ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 463ක් වනවා. ආසාදිතයින් ගණන 11, 063ක් බව වාර්තා වනවා.
කොලොම්බියාවට ආසන්න ඉක්වදෝරයේ මරණ සංඛ්‍යාව 2,127ක් ලෙසයි වාර්තා වන්නේ.