ඇඳිරි නීතිය ඉවත් කළත් නගර ජනාකීර්ණවීමේ අඩුවක්
Monday, 11 May 2020 - 13:10 | Views - 1,004

ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල නගර වෙත ජනතාව පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව වාර්තාවනවා.
එමෙන්ම වෙළඳසැල් බොහොමයක් මේ වනවිටත් විවෘත කර ඇති අතර, රජය විසින් ලබාදී ඇති ක්‍රමවේද අනුගමනය කරමින් ඔවුන් වෙළඳසැල් පවත්වාගෙන යන බවයි ප්‍රදේශ රැසක හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
කෙසේ වෙතත් සතිපොළ, දින පොළ, කාය වර්ධන මධ්‍යස්ථාන, සම්බාහන මධ්‍යස්ථාන, සමාජශාලා, අවන්හල් සහ පිසූ ආහාර අලෙවිසැල් විවෘත කිරීමට තවදුරටත් අවස්ථාව හිමිවන්නේ නැහැ.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක වන අතර, කළුතර, පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වායි.
ඒ අනුව මාස එකහමාරකට ආසන්න කාලයක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ලිහිල් කෙරුණ ද නගරයට ජනතාවගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු ජූඞ් සමන්ත කියා සිටියේ.
ගම්පහ දිස්ත්‍රික්කයට තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර රජය ලබාදී ඇති උපදෙස්වලට අනුව එම ප්‍රදේශවල කාර්යාල කටයුතු සීමා සහිතව ආරම්භ කර ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු ටෝනි කරුණානායක කියා සිටියේ.
ඇදිරි නීතිය ඉවත් කෙරුණු අනුරාධපුර නගරයටද ජනතාව පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු අතුල බණ්ඩාර කියා සිටියේ.
මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතුද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
අද දිනයේ ගුවන් ගමන් බලපත්‍ර ලබාදීම, පුරවැසි අංශය සහ වීසා ලබාදීම සඳහා කාලය වෙන් කරදීමේ කටයුතු සිදු කෙරුණු බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඇතැම් පාරිභෝගිකයන්ගේ විදුලි බිල්පත්වල වැඩිපුර මිල සඳහන්ව ඇත්තේ විදුලිබල මණ්ඩලයේ අතපසුවීමකින් බැවින් එම තත්ත්වය නිවැරදි කරන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබාදී තිබෙනවා.
Share This Article