නිතර ඇතිවන හිසරදයට අත් බෙහෙත්
Friday, 28 February 2020 - 10:22 | Views - 6,104

නොමළ ගෙයකින් අබ මිටක් සොයා යෑම අසීරු වන්නාසේ, තම ජීවිත කාලයපුරාවට හිසරදය සෑදී නැති අයෙකු සොයා ගැනීමට බැරි තරම්ය. ඒ තරමටම සුලභව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි හිසරදය.
ආයූර්වේදීය ඉගැන්වීම් වලට අනුව හිසරදය ශීර්ෂ රෝග ගණයට වැටේ.
වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂයන්හි සමතුලිතතාවය බිදීයාම, හිසරදයට ප්‍රධානම හේතු වේ. ඊට අමතරව උණ රෝගයෙන් පෙළෙනාවිටත්, අධිරුධිර පීඩනය, කන් දත් ආශ්‍රිත වේදනා තත්ත්ව වලදීත් හිසරදය මතුවිය හැක.
හිස ආගන්තුකව සිදුවන බලපෑම් එනම් පහරක් වැදීම, වැටී හිසවැදීම, තැලීමට ලක්වීම වැනි අවස්ථා වලදීද හිස ආශ්‍රිත වේදනා තත්ත්වයක් ඇතිවීමට පුළුවන.
විශේෂයෙන්ම ප්‍රතිශ්‍යා තත්ත්වයන්හි මූලික රෝග ලක්ෂණයක් ලෙසට හිසරදය මතුවේ.
ජානමය හේතූන් ලෙස හෝ වෙනත් පාරිසරික වෙනස්වීම් මත ඇතිවන ඉරුවාරදය නැමති තත්ත්වයද හිසරදය ඇතිවීමට බලපානා සාධකය.
හිසරදය පාලනය කරගැනීමට නිවසේදී ගතහැකි ක්‍රියාකාරකම්
උණුසුම් ජලය හුමාලය ඇල්ලීම. දිනකට දෙවරක් විනාඩි 10-15 කාලයක් හුමාලය ඇල්ලීම යෝග්‍යය.
නිතර පවතින හිසරද තත්ත්වයේදී නිල්‍යාගුණ්ඩායාදී තෛලය හෝ ත්‍රිපලා තෛල්‍ය නාසයට නස්න කිරීම කළ හැක.
උදුපියලිය, රතුලූණු, සියඹලා කොළ ආදිය ගෙන හොඳින් කොටා පොට්ටනියක බැද, එය හුමාලයෙන් තම්බා නාසය, නළල දෙපස, ඇස් ආශ්‍රිතව මද රස්නයෙන් තැවීම සුදුසුය. මෙම ප්‍රතිකර්මයෙන් හිස ආශ්‍රිතව ඇතිසෙම බුරුල් වී, සෙම ඉවත්වීමක් සිදුවේ.
අධිරුධිර පීඩනය හේතුවෙන් රෝගියෙකුට හිසරදය ඇත්නම් තැවීම් කිරීම සුදුසු නොවන අතර එවැනි තත්ත්වයන් පාලනයට සුදුහඳුන් කුඩු සහ සුදුලූණු තලතෙලින් මිශ්‍රකර පැලැස්තරයක් යෙදීම ඉතාම යෝග්‍යය.
නිතර ඇතිවන හිසරදයට පොල්තෙල් ස්වල්පයකට දෙහි බිංදු කිහිපයක් දමා පොල්තෙල් පහනකින් රත්කර හිසේ ගැල්වීම ඉතාම සුදුසුය.
සෙම්රෝග තත්ත්වයක් හේතුවෙන් ඇතිවන හිසරදයේදී නිකකොළ තම්බා හුමාලය ඇල්ලීමෙන් සුවය ලැබේ.
සාමාන්‍ය පවතින හිසරදය දුරුකර ගැනීමට කුරුදු කොළ, ලුණුවරණ කොළ පිරිසිදුව ලබාගෙන තම්බා, හුමාලය ඇල්ලීමෙන් සහනය දේ.
ඉරුවාරදට
කහකුඩු ස්වල්පයක් තලතෙල් මිශ්‍ර රෙදි පාන්කඩයක ඔතා ගිනි අවුලුවා ඉන්නැගෙන දුම කොස්කොළ ගොටුවකින් නාසට ප්‍රශ්වාස කිරීමෙන් සුවය ලැබේ.
ඉරුවාරදය දිගින් දිගටම පවතින්නේ නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා ඕනැකමින් කළ යුතුය.
සටහන :- අසුන්තා එදිරිසූරිය
උපදෙස් :- ශ්‍රි ලංකා ආයූර්වේද සංස්ථාවේ හිටපු ජේෂ්ඨ ආයූර්වේද වෛද්‍ය
රම්‍යා තෙන්නකෝන්
Share This Article