ගැහැනියක් තනි වුණාම මේ සමාජයේ ඉන්න සමහර පිරිමි විවිධ යෝජනා අරගෙන එනවා
Monday, 06 May 2019 - 12:23 | Views - 3,327
දක්‍ෂ රංගන ශිල්පියකු වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් හැටියට නමක් දිනා සිටි සරත් නාමල්ගමගේ හදිසියේ මිය ගියා. ඒ වගේම සරත් නාමල්ගම විවාහ වෙලා හිටියේ ජනප්‍රිය රංගන ශිල්පිනි මනිෂා ශ්‍යාමලී එක්ක. සරත්ගේ මරණින් පසුව ඇය මුහුණ දී සිටින සානුකම්පිත තත්ත්වය ගැන කියන්නේ මෙහෙමයි.

“සරත් අයියා නැති වෙලා. මාව දාලා නොඑන ගමන් ගිහිල්ලා කියලා මට තවමත් හිතෙන්නෙම නැහැ. මේ ගෙදර ඇතුළේ එයා ඉන්නවා කියලා තමයි මට හැම වෙලාවෙම හිතෙන්නේ.”

“තවත් වෙලාවකට හිතෙනවා එයා දුර ගමනක් ගිහින් කියලා. ආපහු ඒවි කියලත් හිතෙනවා. ඇත්තටම මේවා මම මෙහෙම කියද්දී අනිත් අය හිතාවි මට පිස්සු කියලා. මියගිය මනුස්සයෙක් ගැන මම එහෙම කියන්නේ කොහොමද කියලා. ඒත් ඇත්ත කතාව මට මේ මරණය අදහා ගන්න බැහැ. ඒ නිසා මට එහෙම හිතෙනවා. මගේ හිතේ තියෙන පසුතැවිල්ල, වේදනාව නැති කරගන්නත් මම එහෙම හිතනවා ඇති.”

මට හිතෙන්නේ ඔබ විශාල තනිකමකින් හා පසුතැවිල්ලකින් ජීවත් වෙනවා කියලයි?
ඔව්.. ඒක ඇත්තක්. මාත් එක්ක අවුරුදු 17ක් එකට පවුල් කාපු, හැම වෙලාවෙම මගේ තනියට හිටපු, මම ගැන හොයා බලපු ඒ මනුස්සයාව මම අමතක කරන්නේ කොහොමද?

අපි පවුලක් හැටියට ජීවත් වෙද්දී ලොකු ප්‍රශ්න ඇති කරගෙන නැහැ. වාද විවාදවලට පටලැවිලා නැහැ. සරත් අයියා හුඟක් ඉවසන මනුස්සයෙක්. අවවාදයක් දීලා හරි කෙනෙක්ව යහ මඟට ගන්න පුළුවන් කෙනෙක්. එයා මා එක්ක ජීවත් වුණු විදිහ මම හොඳටම දන්නවා. ඒ ආදරය මම දන්නවා.

දැන් ඔබේ ආර්ථික ගැටලු පවා වැඩිවෙලා?
ඔව්.. සරත් අයියා මියයන විට මහා ලොකු මුදලක් ඔහු සතුව තිබුණේ නැහැ. එයා කලාව නිසාම නැති වුණු කෙනෙක්. මුල් කාලේ එයාට හොඳට සල්ලි තිබුණා. ඒත් ටෙලි නාට්‍ය හා චිත්‍රපට කරන්න ගිහින් ලොකු රැවටීමකට එයා අහු වුණා. ඒවට මුදල් වියදම් කළා. නමුත් සමහර නිර්මාණ නිසා නඩුමඟට යන්න පවා සිදු වුණා. ඉතින් ආර්ථිකය කඩා වැටෙන එක අහන්නත් දෙයක්ද?

හැබැයි සරත් අයියා ඒවා ඉවසීමෙන් දරාගෙන මාවත් බලාගෙන ජීවත් වුණේ කාටවත් මේවා කියන්න යන්නේ නැතිව. අන්තිම කාලේ එයා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල අවසරය අරගෙන පාසල්වල, විශ්වවිද්‍යාලවල දේශන පවත්වන්න ගියා. ඒ දරුවන්ගේ හෙට දවස ගැන. අසනීප වුණ දවසෙත් එයා කොළඹ රාජකීය විද්‍යාලයේ දේශනයකට යන්නයි හිටියේ.

දැන් ඔබේ ආදායම් මාර්ගයත් කඩා වැටිලා ඇති?
ඇත්ත.. සරත් අයියා මියගියාට පස්සේ මම මොනම දේකටවත් සම්බන්ධ වෙන්න ගියේ නැහැ. මට යන්න හිතෙන්නේ නැහැ. අම්මලා මා ගැන බලනවා. සහෝදරයෝ බලනවා. ඒත් හැමදාම මට මෙහෙම ඉන්නත් බැහැ.

ඔබ රංගන ශිල්පිනියක්.. ඔබ ජනප්‍රියත්වය නිසා විවිධ යෝජනා ගලා එන්නේ නැද්ද? සබඳතා ඇති කර ගන්න කතා කරන්නේ නැද්ද?
ගැහැනියක් තනි වුණාම මේ සමාජයේ ඉන්න සමහර පිරිමි විවිධ යෝජනා අරගෙන එනවා. ඒක මම මේ පුංචි කාලය තුළදී අත්වින්දා. මම ඒ දුරකථන ඇමතුම්වලට, යෝජනාවලට ඉවසීමෙන් උත්තර දුන්නා. මොකද බනින්න, කෑගහන්න ගියා නම් ඒක අන්තර්ජාලයට දාලා තවත් මොකක් හරි ලෙඩක් මට දමාවි කියලා හිතලා.

ඇත්තටම මේ සමාජයේ ඉන්න හැමෝම එක වගේ නැහැ. හරිම පුදුම මිනිස්සු අපි අතර ඉන්නවා. මම ඒ හැමදෙනාවම මේ සිදුවීමෙන් පස්සේ හඳුනා ගත්තා. මට දුරකථන ඇමතුම් දීලා මාව බලාගන්නම්, මුදල් වියදම් කරන්නම් කියපු හැමෝගේම දුරකථන අංක මම බ්ලොක් කළා.

කොහොමද මේ ප්‍රශ්නවලට ඔබ මුහුණ දෙන්නේ? ජීවත් වෙන්න සල්ලි ඕන?

ඔව් හැමදාම මගේ ගෙදර අයට බරක් වෙන්න මට බැහැ. ඒ වගේම නරක දේවල් කරලා නරක විදියට සල්ලි හම්බ කරලා සරත් අයියාගේ වගේම මගේ ගෙදර අයගේ, නෑදෑයන්ගේ මුණේ දැලි ගාන්නත් මට බැහැ. ඒ නිසා මම නැවත රඟපාලා හරි කීයක් හරි හොයා ගන්නවා. වැදගත් විදියට ඒ රස්සාව කරනවා.

ඔබ කලින් හෙදියක් නේද? ඒ රස්සාව ආපහු කරන්න බැරිද?

ඒ රස්සාව මම ලංකාවේදී වගේම පිටරටවල්වලදීත් කළා. ඒත් දැන් ඒ රස්සාව කරන්න පුළුවන් පරිසරයක් මට නැහැ. ඒ වගේම තවත් කාලෙක මම නිමි ඇඳුම් ව්‍යාපාරයක් කළා. ඒ වගේම සැලෝන් එකක් කළා. ඒවට වුණත් දැන් ඉල්ලුමක් නැහැ.

කොහොම හරි ඒ හැමදෙයක්ම අතරේ සරත් අයියගේ නමට ආදායම් බදු ගෙවන්න කියලා ලියුමකුත් ඇවිත්. නොගෙව්වොත් නඩු දානවා කියලත් තියෙනවා. ආදායමක් නැතිව සරත් අයියා මියගිහින් කියලා දන්නෙවත් නැතුව වෙන්න ඇති මෙහෙම ලියුමක් ඇවිත් තියෙන්නේ.

සරත් අයියා මියගිය දවසෙත් අනාගතයේ සිදුවිය යුතු හා සිදුකළ යුතු දේ ඔබ සමඟ කතා කළා කිව්වා?

ඇත්තටම මට මේ වියෝව හීනයක් වගේ දැනෙන්නේ ඒ නිසාමයි. එදා මේ පුටු සැටියේ ඉඳගෙන ක්‍රිකට් මැච් එකක් බල බලා හිටපු ඔහු පපුව රිදෙනවා කිව්වා. ඊළඟට වමනය කළා. ඇඟේ විශාල වශයෙන් දහඩිය තිබෙනවා එහෙමත් මම දැක්කා.

ඉතින් මම වහාම ඔහු කළුබෝවිල රෝහලට අරන් ගියා. එතැනදී ලැබුණු ප්‍රතිකාරවලින් යථා තත්ත්වයට පත් වුණා. හැබැයි ශල්‍යකර්මයක් සිදු කළ යුතු බව වෛද්‍යවරුන් නිගමනය කළා.

කොහොම හරි මියගිය දවසේ උදේ මම බලන්න ගියාම හරිම ලස්සනට ඇඳේ වාඩිවෙලා හිනාවෙවී කතා කළා. රෝහලින් නික්ම ගියාට පස්සේ කරන්න තිබෙන වැඩ රාජකාරි ගැන පැය එකහමාරක් විතර කතා කළා. මා ගැනත් කතා කළා. ඒත් දවල් බලන්න යද්දී ඔහු දෙවැනි හාට් ඇටැක් එකකින් මියගිහින් තිබුණා. මට මේවා දරා ගන්න බැහැ. ඉවස ගන්න බැහැ. හැම වෙලාවම ඒ සුන්දර මුහුණ, හිනාව මට මතක් වෙනවා. ඒක තමයි තවමත් මට හිත හදාගන්න බැරි වී තිබෙන්නේ.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
මව්බිම
Image may contain: 1 person, smiling, closeup
Image may contain: 1 person, smiling, standing and outdoor


Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top