විනිසුරු අසුනේ ඉඳගන්න වාසනාව මට උදා වුණා- රටේ සංගීතය වගේම එහි රසයත් හරියට හැදෙන්න ඕනේ
Tuesday, 17 July 2018 - 14:52 | Views - 2,547
රියැලිටි මාවතේ ඇවිත් රසික රසිකාවියන්ගෙන් එදා වගේම ආදරයක් අදත් ලබන තරු කවුද කියන ප්‍රශ්නය ඇහුවොත් ඊට මුලින්ම ලැබෙන පිළිතුරක් තමයි ශිහාන් මිහිරංග කියන්නේ. අවුරුදු තුනක් නිහඬ වෙලා හිටපු ශිහාන් දැන් ආයෙමත් කරළියට ඇවිත්. ඒ හිරු ස්ටාර් රියැලිටි වැඩසටහනේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරමින්. පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා තිබුණේ මෙබන්ඳක්.

රියැලිටි තරුවක් වන ශිහාන්ට දෙවන වතාවටත් රියැලිටි තරගාවලියක විනිසුරු මඬුල්ල නියෝජනය කරන්නට අවස්ථාව ලැබිලා. මොනවද ඔබට ඒ ගැන හිතෙන්නේ?

ඒ ගැන මට විශාල සතුටක් වගේම නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා. සුපර් ස්ටාර් හතර වැනි අදියරේදී මම එහි නිවේදකයකු ලෙස කටයුතු කළා. සුපර් ස්ටාර් පස්වෙනි අදියරේදී මම විනිසුරුවරයෙක් විදිහටත් කටයුතු කළා. ඒ වගේම හිරු ස්ටාර් සජීවී ගායන රියැලිටි වැඩසටහනේදීත් විනිශ්චය මණ්ඩලය නියෝජනය කරන්නට මට ආරාධනා ලැබුණා. මේ විදිහට රියැලිටි තරු මාවතේ ඉදිරියට ඇවිත් රියැලිටි තරගාවලි දෙකකදීම විනිසුරු අසුනේ ඉඳගන්න වාසනාව මට උදා වුණා.

ශිහාන් මිහිරංග කියන ආධුනික ගායන ශිල්පියා එදා සුපර් ස්ටාර් වේදිකාවේදී ගීත ගායනා කරනකොට, එහි විනිසුරු මඬුල්ල නියෝජනය කළ නිරෝෂා විරාජිනී එක්ක අද හිරු ස්ටාර් විනිසුරු අසුනෙහි එකට හිඳගන්නට ඔබට අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඔබට ඒ ගැන දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද?

ඇත්තටම ඒක මට ලොකුම ලොකු භාග්‍යයක්. අනික ඒක හැමෝටම නොලැබෙන අවස්ථාවක්. මාව මුලින්ම විනිශ්චය කරපු විනිසුරු මඬුල්ලෙත් නිරෝෂා විරාජිනී මහත්මිය හිටියා. අවසානයේදී මට එතුමියත් එක්කම එකම තලයක වැඩකරන්න ලැබෙනවා. මම දන්න විදිහට රියැලිටි වැඩසටහන්වලින් දැනට ඒ වගේම අවස්ථාවක් ලැබුණු මුල්ම රියැලිටි තරුව මම වෙන්න ඇති. ඒ වගේම තව මාස එකහමාරකින් විතර මගේ ගායන වීරයා වන රූකාන්ත ගුණතිලක මහත්මයාත් මේ වැඩසටහනට විශේෂ කෙනෙක් විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක මට තවත් වාසනාවක්. මොකද රියැලිටි තරු මාවතේදී මගේ ගායනය මුලින්ම විනිශ්චයට ලක්කළේ එතුමා. ඉතින් මට දැනෙනවා මට පුදුම විදිහේ වාසනාවක් තියෙනවා කියලා.

එදා වගේම අදටත් අසීමිත ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන කඩවසම් ගායන තරුවක් විදිහටයි ප්‍රේක්ෂකයෝ ඔබව හඳුන්වලා දෙන්නේ. ඒත් ශිහාන්ගේ නිහඬවීම ගැන නම් ප්‍රේක්ෂකයන් සතුටු නැහැ. ගායන ශිල්පියෙක් විදිහට පසුගිය කාලයේ ඔබ නිහඬව සිටියේ ඇයි ?

සංගීත වැඩකටයුතුවලට අවුරුදු තුනක විතර කාලයක් මම පුංචි විරාමයක් දුන්නා. එහෙම කරන්න හේතුව තමයි දැන් සංගීත ක්‍ෂේත්‍රයේ ඉන්න නිෂ්පාදකවරු ඒ වගේම නිර්මාණකරුවනුත් බිහි කරන්නේ එකම විදිහේ ගීත වීම. මේ රටේ සංගීතය වගේම එහි රසයත් හරියට හැදෙන්න ඕනේ. එහෙම නැතුව නිෂ්පාදකවරයන්ට ඕන විදිහටවත්, නාලිකාවලට ඕන විදිහටවත් ගීත නිර්මාණ කරන්න ගියොත් අපේ ප්‍රේක්ෂකයන්ට අහන්න වෙන්නේ එකම රිදම් එක. ඒ දේ කරන්න අකමැති හින්දා තමයි මම නිහඬ වෙලා ඉන්නේ. ඒත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මම වෙනස් විදිහේ හොඳ නිර්මාණ එක්ක ප්‍රේක්ෂකයන් අතරට එනවා. නාලිකා භාරගත්තා හෝ නැතා මම කැමති විදියට විතරයි ඉදිරියේදී මම ගීත කරන්නේ.

ජනතාවගේ ආදරේ දිනාගන්නා ගමන් ශිහාන් කොහොමද පෞද්ගලික ජීවිතය හරිහැටි කළමනාකරණය කරගන්නේ?

මට ඒ හැමදේටම හයියක් ලබා දෙන්නේ මගේ ආදරණීය බිරිඳ ගේ‍රෂ්නියි. මම මේ රටේ ජනප්‍රිය වෙනකොටම මගේ පෙම්වතිය වුණෙත් මගේ බිරිඳ. එයා එදා ඉඳලා තේරුම් ගත්තා රටේ ආදරේ කරන චරිතයක් වුණාම අපි ඒ ප්‍රතිචාර නිහතමානීව භාර ගන්න ඕනේ කියලා. ශිහාන් මිහිරංග කියන මොඩල් එක මොනවගේද කියන එක ඇය හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ.

පුතාලටත් ‘ශිහාන්’ කියන නම දාන්න හිතුවේ ඔවුනුත් කවදා හරි දවසක තාත්තා වගේම ජනතාව අතරට ගෙනයන බලා‍පොරොත්තුවෙන්ද?

ශිහාන් කියන නම මට ලොකු වාසනාවක් ගෙනාවා. ඒ නිසා ඒ නම මගේ පුතාලා දෙන්නටත් ඊටත් වඩා වැඩියෙන් වාසනාව උදාකරාවි කියලා මම විශ්වාස කරනවා. පුතාලා රටේ නම ගිය ගායකයෝ වුණත් නැතත්, මට වගේම ඒ දෙන්නටත් ගොඩක් ආදරේ එකතු කරගන්න ‘ශිහාන්’ කියන නම වාසනාව ගෙන ඒවි කියලයි මම හැම වෙලාවෙම විශ්වාස කරන්නේ.

සමන්මලී නැලිගම
Share This Article
Hiru Tv Blog
අද දවසේ අපේ විශේෂ උපන්දින කතාබහට සම්බන්ධ වෙන්නේ, තමන්ගේ වෙනස්ම ශෛලියකින් ලාංකීය...
Hiru Tv Blog
දුලාජ් ජයතිලක, වස්ති කියන බ්‍රෑන්ඩ් එකට ආදරය කරන අයට නම් ඔහු නුපුරුදු චරිතයක්...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top