සාෆිගේ නඩුවේ අධිකරණයට කළ කරුණු වාර්තා කිරීම් ගැන CIDය කණගාටුවෙන්
Thursday, 16 January 2020 - 13:52 | Views - 660
දැනට සේවය අත්හිටුවා ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඞ් සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ විමර්ශන පිලිබඳව අධිකරණයට කර ඇති කරුණු දැක්වීම් පිළිබඳව කණගාටුවට පත් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණය හමුවේ සඳහන් කළා.
ඒ මීට අදාළ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.
මෙහිදී සැකකාර වෛද්‍යවරයාට එරෙහිව චෝදනා විමර්ශනය සඳහා පත්කෙරුණු සහකාර පොලිස් අධිකාරි විජිත පෙරේරා නව විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කළා.
එහිදී ඔහු කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය සාෆි ෂිහාබ්දීන්ගේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
සැකකරු සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා මාස 2 ක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් නඩුව ලබන මාර්තු 14 යළි කැඳවීමටයි තීරණය කළේ.
Share This Article