ලොව තරුණම අගමැතිනිය ලොවෙන් වසන් කළ කඳුළු කතාව
Monday, 13 January 2020 - 11:13 | Views - 954

උත්සාහය සහ තමා තුළ ඇතිවන දැඩි ආත්ම විශ්වාසය ලෝකයේ බොහෝ මිනිසුන් දුගී පැල්පත්වල සිට සුවිසල් මැඳුරු දක්වා රැගෙන යෑමට සමත්වනවා. ලෝකය ජයගත් බහුතර පිරිසක් උපතේ සිට සර්ව සම්පූර්ණ ජීවිත ගත නොකළ අතර හොඳින් සොයා බලන්නේ නම් ඔවුන්ගේ ජීවිතවල අඳුරු අහුමුලු අපට දැකගත හැකිවෙනවා.
ඉතා දුක්බර අඳුරු ළමා වියක් ගත කළ සානා මැරින් පිළිබඳව මේ වන විටත් ඔබ අසා ඇත. පසුගිය දින කිහිපය තුළ ඇය සමාජ මාධ්‍ය හරහා මෙන්ම ජාත්‍යන්තර දේශපාලන ලොව තුළ දැඩි කතාබහට ලක්වීම එයට හේතුවයි. 2019 දෙසැම්බර් මස 10 වැනිදා සානා මැරින් පින්ලන්තයේ අගමැතිවරිය බවට පත්වුණා. තිස් හතර වියැති සානා ලොව ළාබාලතම අගමැතිවරිය වීම ඇයගේ සුවිශේෂීත්වයයි. සානා මැරින් බොහෝ විට ඇයගේ පෞද්ගලික ජීවිතය සමාජයෙන් වසන් කිරීමට උත්සාහ ගත් තැනැත්තියක්. නමුත් ඇය එරට අගමැතිවරිය බවට පත්වීමත් සමඟ ඇයගේ ළමා වියේදී ඇය ගත කළ දුෂ්කර ජීවිතය පිළිබඳව සානා ලොවට හෙළි කරනු ලැබුවා.
1985 නොවැම්බර් 16 වැනිදා පින්ලන්තයේ උපත ලද සානා කුඩා කල සිට බාහිර ලෝකයෙන් මිදී හුදෙකලා දිවියක් ගත කළ දියණියක්. හුදෙකලා ලෙස ජීවත් වූ නිසාම කුඩා කල ඇයට මිතුරියන් පවා නොසිටි බව ඇය පවසනවා. සානාගේ පියා දැඩි ලෙස මතට ලොල් වූ පුද්ගලයකු වූ නිසාම සානා කුඩා කල දුටුවේ මව සහ පියා නිතර නිතර ගැටුම් ඇති කරගන්නා ආකාරයයි. ඉන්පසු මත්ලෝලී පියාගෙන් වෙන්වුණු සානාගේ මව සමලිංගික විවාහයකට ඇතුළුවීමට තීරණය කරනු ලබනවා. සමලිංගික විවාහ සඳහා පින්ලන්ත නීතියෙන් අවසර ලැබුණද එවැනි පවුල්වලට සමාජයේ පිළිගැනීමක් හිමි නොවුණු නිසා සානාට නිතර මිනිසුන්ගේ සමච්චලයට ලක්වීමටද සිදුවෙනවා. ඉතා දරිද්‍ර දිවි පෙවෙතක් ගත කළ සානා කුඩා කල ජීවත් වූයේද කුලී නිවාසවලයි. කුසට නිසි ලෙස ආහාර නොලැබුණද කුඩා සානා අධ්‍යාපනය පිළිබඳව හො¼ද අවධානයක් යොමු කරනු ලැබුවා. පාසල් අධ්‍යාපනය නිම කළ සානා වයස අවුරුදු 15දී බේකරියක රැකියාවකට ගොස් ඇයගේ උසස් අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සොයාගනු ලැබුවා. එයට අමතරව ඇය සඟරා බෙදා හැරීම, මුදල් අයකැමි කටයුතු වැනි කුඩා දෑ කරමින් අධ්‍යාපනයට මුදල් උපයාගනු ලැබුවා. සානාගේ පවුලේ සරසවි වරම් ලැබූ එකම කාන්තාව ඇයයි.
දේශපාලන විෂයට ආකර්ෂණය වූ සානා 27 වැනි වියේදී පින්ලන්ත පුරසබයට තේරී පත්වීමට වරම් ලබනවා. 2015 වසරේදී පින්ලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වන ඇය ඉන්පසු එරට ප්‍රවාහන හා විදුලි සන්දේශ ඇමැතිවරිය ලෙස කටයුතු කරනු ලැබුවා. පින්ලන්ත හිටපු අගමැති රින්ගේ ඉල්ලා අස්වීම සමඟ එරට 67 වැනි අගමැතිවරිය ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වීමට තරම් සානා වාසනාවන්ත වූවා.
සානා එරට අගමැතිවරිය ලෙස තේරී පත්වීම නිසා කෝපයට පත් එස්ටෝනියාවේ අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයකු “සේල්ස් ගර්ල් කෙනෙක් රටක් පාලනය කරන්නේ කෙසේදැයි” පවසමින් ඇයට අපහාස කර තිබෙනවා. අපහාස උපහාසවලින් දුර්වල වීමට තරම් මටසිලිටු නොමැති සානා පවසන්නේ මෙවැන්නක්.
“මට ආත්ම විශ්වාසය ඇතිකළේ මගේ අම්මයි. ඇය මට ලෝකය දිනන්න පුළුවන් කියලා මගේ හිතට විශ්වාසය ඇති කළා. අධ්‍යාපනයෙන් ඉහළටම යන්නත් ඇය මට උදවු කළා. ඇත්තටම අපේ රටේ දුප්පත් ළමයකුටත් ඉගෙන ගෙන තමන්ගේ ඉලක්ක ජය ගන්න පුළුවන්. අයකැමිට වුණත් අගමැති වෙන්න ඉඩ ලබාදෙනවා. මට දැන් ඕන කරන්නේ හැම දරුවකුටම එක විධියක ජීවිතයක් ලබාදෙන්නයි. දරුවන් ජීවිතය හොඳින් විඳිනවා දකින්නයි. හැම දරුවකුටම ජීවිතය දිනන්න පුළුවන් හැකියාව සහ සියල්ලන්ටම ගෞරවයෙන් ජීවත්විය හැකි පරිසරයක් අපි ගොඩනැඟිය යුතුයි.”
සානා දිවුරුම් දීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයට කාන්තාවන් පස් දෙනකු එක් කරනු ලැබුවේ ස්ත්‍රී - පුරුෂ සමානත්වය ඇති කළ යුතුයි යන අදහසින් යුක්තවයි. ඇය තෝරාගත් පිරිස අතුරින් තුන්දෙනකුම වයස අවුරුදු 35ට අඩු ඇමැතිවරියන් වීම අනෙකුත් සුවිශේෂීත්වයයි.
ඉතා සුරූපී රුපකායකට උරුමකම් කියන සානා මාකස් රයිකොනෙන් සමඟ ඉතා සාර්ථක විවාහ දිවියක් ගත කරනු ලබනවා. කුඩා දියණියකගේ මවක් වන සානා එරට සියලු දරුවන්ට මවක් වෙමින් කටයුතු කරනු ඇතැයි එරට බොහෝ දෙනාගේ අපේක්ෂාවයි.
සෙව්වන්දි හෙට්ටිආරච්චි
Share This Article