දේව කන්නලව්වකින් දරුවකු ලබා ගන්න ගිය යුවළකට පූසාරියෙක් කරපු වැඩක්
Friday, 10 January 2020 - 19:06 | Views - 598

බදුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙයියන්නේවෙල පාර බදුල්ල ලිපිනයේ පදිංචි දරුවන් නොමැති යුවළකට දේව කන්නලව්වකින් දරුවකු ලබාදිය හැකි බව පවසා රුපියල් විසි ලක්ෂ හතළිස් හත්දහස් පන්සියයක මුදලක් (රු. 20,47,500) වංචා කොට පලාගිය පූසාරියා සහ ඔහුගේ බිරිය සොයා පරීක්ෂණ ආරම්භ කළ බව බදුල්ල පොලිසිය පවසයි.

මෙම සිද්ධියට මුහුණ පෑ කාන්තාවගේ වයස අවුරුදු 45කි. ඇයගේ ස්වාමි පුරුෂයාගේ වයස අවුරුදු 52කි. ඔවුන් දෙදෙනාට දරුවන් නොමැතිකමින් දීර්ඝ කාලයක සිට වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති අතර ඊට අමතරව නොයෙකුත් පුද පූජා දේව කන්නලව් ආදියද සිදුකරමින් දරුවකු ලබාගැනීමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි.

මෙම යුවළට දැනගැනීමට ලැබී ඇත්තේ මෙවැනි වැඩ සඳහා ප්‍රසිද්ධ ඉන්දියාවේ කේරළ ප්‍රදේශයෙන් පැමිණ පූසාරියකු බදුල්ල ගඟබඩ පාරේ නිවෙසක නැවතී මේ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සිදුකරන බවයි. පසුව එම යුවළ අදාළ පූසාරියා සොයා ගොස් ඔවුන්ගේ ගැටලුව කියා ඇත. ඒ අනුව පූසාරියා බව කියන පුද්ගලයා ඔවුන්ට පවසා ඇත්තේ එම කාන්තාවගේ බඩේ ගෙඩියක් ඇති බැවින් එය ඉවත් කරන තෙක් දරුපල හට නොගන්නා බවත් මෙය ඉවත් නොකළහොත් ඇයගේ ස්වාමිපුරුෂයාටද ජීවිත හානියක් වීමේ අවදානමක් ඇති බවයි.

මේ සඳහා පූජාවන් 5ක් කළ යුතු බවත් එක් පූජාවකට රුපියල් විසිපන් දහසක් (25,000) අය කරන බවත් දරුවකු ලබාගැනීම සඳහා සිදුකරන දේව පූජාව සඳහා රත්රන් පවුම් 25ක් අවශ්‍ය බවත් එම පූසාරියා ඔවුන්ට පවසා ඇති බව හෙතෙම පැවැසීය.

දරුවකු නොමැතිව දැඩි ලෙස මානසික පීඩනයට ලක්ව සිටි මෙම යුවළ විසින් දරුවකු ලබාගැනීමේ ආසාව නිසා මෙම පූජාවන් කිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු ඉකුත් 26 දින ඒ සඳහා අවශ්‍ය මුදල්, රත්රන් හා පූජා භාණ්ඩවල රැගෙන පැමිණෙන ලෙස එම පූසාරියා, ඔවුන්ට පැවැසූ බවත් ඒ අනුව එම දෙදෙනා පළමු පූජාව සඳහා අවශ්‍ය රු. විසිපන් දහසක මුදලත් දරුවකු ලබාගැනීමට තිබූ දැඩි උනන්දුව නිසා රත්රන් පවුම් 25 වෙනුවට පවුම් 28කින් යුත් තමන් සතුව තිබූ වළලු 4ක්, මාල 2ක් හා තැලි 1ක් මැටි මුට්ටියක දමා එම මුට්ටිය කහපාට රෙද්දකින් බැඳ එම පුද්ගලයා වෙත ලබාදුන් බව ඔවුන් පොලිසියට පවසා ඇත.

ඉන් පසු මෙම පූසාරියා විසින් එම මුට්ටිය හා පූජා භාණ්ඩ තමන් පදිංචිව සිටි නිවෙසේ කාමරයක් තුළ තනා තිබූ දේවාලයට රැගෙන ගොස් දේව ප්‍රතිමා ඉදිරියේ කඩා දේව පූජාව කිරීමට සූදානම් වී එම යුවළට දේව ප්‍රතිමාවන්ට පසුපස හරවා සිටින ලෙස පවසා පූජාව පටන් ගෙන ඇත. එම අවස්ථාවේදී ඔහුගේ බිරියද එම ස්ථානයට පැමිණි බවත් ඔවුන් දෙදෙනා කැඩිච්ච දෙමළෙන් කතා කළ බවත් මෙම යුවළ වැඩිදුරටත් පොලිසියට පවසා ඇත. විනාඩි පහකින් පමණ පසු පූජාව අවසන් බව පවසා නැවත දේව ප්‍රතිමා දෙසට හැරෙන ලෙස පවසා ඇත. ඉන් පසු මීළඟ පූජාව සඳහා දෙසැම්බර් 28 දින පැමිණෙන ලෙස දන්වා එම යුවළ පිටත්කර යවා ඇති බවද පොලිසිය පවසයි.

මෙම යුවළගේ වැඩිමහල් සහෝදරිය මෙම පූසාරි යැයි කියූ පුද්ගලයා පදිංචි නිවෙස ආසන්නයේ පදිංචිව සිටින  බැවින් ඇය ඊට පසුදින දැක ඇත්තේ එම නිවෙසේ ‍ෙදාරවල් ඇරදමා ඇති බවත් කිසිවකු නිවෙස තුළ දක්නට නොසිටි බවත්ය.

පසුව ඇය විසින් මේ බව ඇයගේ සහෝදරියට පවසා ඇත. ඔවුන් පැමිණ බැලීමේදී එම නිවෙස තුළ කිසිවකු සිට නොමැති අතර දේව ප්‍රතිමා ඉදිරියේ ඔවුන්ගේ රත්රන් බඩු දමා තිබූ මුට්ටිය තිබෙන අයුරු දැක එම ස්ථානයට ගොස් බැඳ තිබූ රෙදිකඩ ඉවත් කර බැලීමේදී ඒ තුළ කිසිවක් නොතිබූ නිසා ඔවුන් විසින් මේ පිළිබඳව පැමිණිලි කළ බැව් පොලිසිය වැඩිදුරටත් පැවැසීය. 

බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top