මහමැතිවරණය ගැන, නිදහස් පක්ෂ - පොහොට්ටු සාකච්ඡා, ඉදිරි දින කිහිපය තුළ
Friday, 10 January 2020 - 13:10 | Views - 368
ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා ඉදිරි දින කිහිපයේදී ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සඳහන් කළේ මෙහිදී විශේෂයෙන්ම මහමැතිවරණයේ දී තරඟ කරන ලාංඡනය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.
මීට අමතරව මැතිවරණයට තරඟ කරන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ප්‍රචාරණ වැඩපිළිවෙල පිළිබදව ද අවධානය යොමුවනු ඇති.
පසුගිය ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලදී මහමැතිවරණයකදී පුටුව ලකුණෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස තරඟ වැදීමට මූලික එකඟතාවකට පැමිණියා.
කෙසේ වෙතත්, මේ වන විට පොහොට්ටුව ලකුණෙන් තරඟ කළ යුතු බවට ද අදහස් ඉදිරිපත් වී තිබෙනවා.
ඉදිරි සාකච්ඡාවලදී එම තත්ත්වයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි පොදුජන පෙරමුණේ එම ජ්‍යෙෂ්ඨ සාමාජිකයා අප කළ විමසීමකදී වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article