"මම සමලිංගිකයි කියලා මගේ මවට හෙළි කළේ මිසිසිපි වෙරළක ඇවිදිමින් ඉන්නා විට" මට ශරීරය ගැන මහ ලොකු දැනුමක් තිබුණේ නෑ. මං ඔහුට ඉඩ දුන්නා
"ඔවුන් දෙදෙනාට තිබුණේ ලිංගික ජීවිතය උතුරන සම්බන්ධයක්.."
"මට ශරීරය ගැන මහ ලොකු දැනුමක් තිබුණේ නෑ. මං ඔහුට ඉඩ දුන්නා..."
ලෝකයේ බිහිවුණු සාර්ථකම සන්නිවේදකයෙක් වන ඩේවිඩ් ලෙටර්මන් Netflix එකේ talk show එකක් මෙහෙයවනවා. වැඩසටහනේ නම 'My Next Guest Needs No Introduction'. දෙවෙනි season එකේ එක් වැඩසටහනකට සහභාගි වෙනවා ලෝකයම ආදරය කරන එලන් ඩිජෙනරස්.
"මම සමලිංගිකයි කියලා මගේ මවට හෙළි කළේ මිසිසිපි වෙරළක ඇවිදිමින් ඉන්නා විට. ඇයට එය තේරුම් ගන්න බැරිවුණා. මොකද මගේ නව යොවුන් වියේදී මට පෙම්වතුන් සිටි නිසා. ඇය හිතුවේ මං රෝගී පරිච්ඡේදයක් ගත කරමින් ඉන්නවා කියලා. ඇය පුස්තකාලයට පවා ගිහින් ඒ පිළිබඳව හොයන තත්ත්වයට පත් වුණා."
"මට කලා ක්ෂේත්රය ගැන එවකට පුදුම තරහක් ඇතිවුණා. මම සමලිංගික කාන්තාවක් කියන සත්‍යය හෙළි කරපු එක වැරැද්දක් ලෙස සළකලා මම ඒ වෙද්දී නියැලුණු සියලුම කලා කටයුතු වලින් මාව ඉවත් කළා. මම රඟපෑ මගේම Ellen කතාවේ හොඳම අවධිය එළඹෙන්න නියමිතව තිබුණේ ඊළඟ season එකේ. නමුත් නාට්‍යයේ නිෂ්පාදකවරු මාව එයින් ඉවත් කළා. මුකුත් වැඩ නැතුව මම නැවතත් නිවසේ තනි වුණා. Finding Nemo චිත්‍රපටයේ Dory චරිතයට හඬකවන්න මාව තෝරාගත් නිසා එයින් ලැබුණු මුදලින් තමයි මම ජීවත් වුණේ."
"නියැලෙන්න කිසිම වැඩක් නැතිව ගෙදර ඉන්න දවසක මගේ වැට අද්දරට එනවා අසල්වාසී නිවසේ දියණියක්. ඇයගේ මව නක්ෂත්රවේදය හදාරන කෙනෙක් නිසා ඇයට මගේ පලාපල විමසලා දෙන්න පුළුවන් කියලා දියණිය කිවුවා. වෙන වැඩකුත් නැති එකේ මම ඇයව මුණගැහුණා. ඇය මට කිවුවා මම වයස අවුරුදු හතලිස් පහේදී කිසිලෙසකින් වත් නොහිතන, මෙතෙක් නියැලුණේ නැති වැඩක් ආරම්භ කරනවා, ඒ ඔස්සේ ලෝක ප්‍රසිද්ධ වෙනවා, යහමින් ධනය උපයනවා, සැමගේ ආදරය දිනාගන්නවා කියලා. මම ඒක එතරම් තැකුවේ නෑ. මොකද හතළිස් පහ කියන්නේ කාන්තාවකට හොලිවුඩය තුළ අලුතින් වැඩ පටන්ගන්න පුළුවන් වයසක් නෙවෙයි.
නමුත් වයස අවුරුදු හතලිස් පහේදී මං මගේ talk show එක ආරම්භ කළා.
අපේ අභිප්රායන් තමයි අපේ යථාර්ථය නිර්මාණය කරන්නේ. අපේ සිතුවිලි තමයි අපේ ශක්තිය වෙන්නේ."
ඇය කිසි දිනක නොකියූ කතාවක් මුල්ම වතාවට හෙළි කිරීම අරඹනවා.
"පියාගේ දික්කසාදයෙන් පස්සේ මගේ මව දෙවෙනි විවාහයක් කරගත්තා මට වයස අවුරුදු පහළොවක් විතර වෙද්දී. ඇය විවාහ වුණේ ඉතාම නරක පුද්ගලයෙක් සමඟ. ඔහු මට කරපු දේට විරුද්ධව නැඟී සිටින්න මට ඒ වෙද්දී පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ ගැන මට මං ගැනම ලොකු තරහක් ආවා. මං මේ ගැන විස්තරාත්මකව කියන්නේ දැරියන්ට මේ දේ සිද්ධ වෙන එක වළක්වන්නයි. මං දන්නෑ මේ කොටස විකාශය කරයි ද කියලාවත්. කමක් නෑ මං කියන්නම්."
"මගේ මව නැවත විවාහ වුණු ගමන්ම ඇයට පියයුරු පිළිකාවක් වැළඳුණා. ඇයගේ එක් පියයුරක් ඉවත් කරන්න සිද්ධ වුණා. ඔවුන් දෙදෙනාට තිබුණේ ලිංගික ජීවිතය උතුරන සම්බන්ධයක්. ඒ නිවසේම වාසය කළ මට එය මහත් අපහසුවක් ගෙන දෙන්නක් වුණා. දිනක් ඇය නගරයෙන් දුර බැහැරක ගොස් සිටි මොහොතක මගේ සුළුපියා මං අසලට ඇවිත් කිවුවා මවගේ පියයුරේ ගැටිත්තක් තිබෙනවා, එය ඇයට කීමෙන් පිළිකාව ගැන මතක් කර නැවත ඇය බිය ගන්වන්න අකමැතියි, එය සාමාන්‍යයි ද යන්න දැනගැනීමට මගේ පියයුරු අතගා බලන්න අවශ්‍යයි කියලා. ඒ දවස්වල මට ශරීරය ගැන මහ ලොකු දැනුමක් තිබුණේ නෑ. මං ඔහුට ඉඩ දුන්නා.
ඉන්පසු තවත් දවසක් ඔහුට එය අවශ්‍ය වුණා. දිගින් දිගටම ඔහුට එය අවශ්‍ය වුණා. එවන් එක් දිනක ඔහු මගේ කාමරයේ දොර කඩාගෙන ඇතුළට එන්න හදපු මොහොතක මං ජනේලයෙන් පැන දිවගොස් බේරුණා, මොකද මට තේරුණා එදා ඔහු පියයුරෙන් නවතින්නේ නැති බව."
"මං මේ ගැන මගේ මවට කිවුවේ නෑ. පියාගේ දික්කසාදයෙන් පස්සේ අපි හිටියේ එකට. මං ඇයව ආරක්ෂා කළා. දෙවන විවාහය නිසා ඇය දැන් ඉන්නේ සතුටින්. මේ සිද්ධි ගැන කිවුවොත් මේ විවාහයත් අවසන් වෙයි. නමුත් ඔහු නොහොබිනා පුද්ගලයෙක්. අවුරුදු ගණනක් ගත වෙලා මං මේ ගැන මවට කිවුවා. ඇය මාව මොහොතකටවත් විශ්වාස කළේ නෑ. ඇය ඔහුත් සමඟ තවත් අවුරුදු 18ක විවාහ ජීවිතයක් ගත කළා.
මවගේ විවාහය ආරක්ෂා කරනවා වෙනුවට මට තිබුණේ මාව ආරක්ෂා කරගන්න."
"අවුරුදු 18ක් අවසානයේ මගේ මව ඔහුගෙන් වෙන් වෙන්න හේතුව වුණෙත් මේ සිද්ධියමයි. ඔහුගෙන් කිහිප වරක්ම ඒ ගැන අසන විට එකිනෙකට පරස්පර කතා ගොතා කියා තිබුණා. නමුත් මුල් දිනවල ඒ ගැන විමසද්දී ඔහු කියා තිබුණේ මම බොරු කියනවා කියලා. එදා ඇය ඔහුගේ පැත්ත ගත්තා"
"මේක දැන් මවගේත් ඔබගේත් ප්‍රශ්නයක්. කොහොමද ඔබ එය විසඳගත්තේ?", ලෙටර්මන් අහනවා පැනයක්.
"මෑතකදීත් මට හිතුණා, ඇයට මාව දියණියක් විදිහට මීට වඩා රැක බලාගන්න තිබුණා නේද කියලා. ඒ මොහොතේ ඇයට මාව විශ්වාස කරන්න තිබුණා නේද කියලා. ඒ පිළිබඳව ඇය කණගාටු වුණා. මගෙන් සමාව ඉල්ලුවා. මොන දේ වුණත් ඇය මගේ මව. මේ මුළු ජීවිත කාලය පුරා මම ඇයව රැක බලාගත්තා. මේ සිද්ධිය නිසා මගේ හිත වෙනස් වෙන්න මං ඉඩ තිබ්බේ නෑ. මම වෙනදා වගේම ආදරයෙන් ඇප උපස්ථාන කරලා ඇයව රැක බලාගත්තා."
මුළු ශාලාවම නිහඬයි.
ලෙටර්මන් කම්මුලට අත තබාගෙන ගල් ගැහුණු මුහුණකින් එලන් දෙස බලා සිටිනවා, ඊළඟට කියන්න දෙයක් හිතාගන්න බැරුව. එලන්ගේ ඇස් කඳුළින් පිරිලා. නියපොතු කඩමින් තමන්ගේ දුක, පීඩනය යටපත් කරන්න ඇය උත්සාහ කරනවා.
"We love you", නිහඬ ප්‍රේක්ෂාගාරයෙන් කවුදෝ අදහස් දක්වනවා.
ඒ වචන තුනෙන් ඇය නැවතත් පණ ලබා සුපුරුදු සිනහවෙන් ආලෝකමත් වුණු මුහුණින් "Thank you" කියනවා.
ප්‍රේක්ෂාගාරය එකම අත්පොළසන් නාදයකින් පිරී යනවා.
මේ සම්මුඛ සාකච්ඡාව බලද්දී මට හිතුණේ ඇය සමලිංගික වීමට බලපෑවේ සුළුපියාගේ අතවරය නිසා පිරිමි පාර්ශ්වය ගැන යටිහිතේ ඉපදුණු අපුලක් නිසා ද කියලා.
"මං කුඩා කාලයේ ජීවත් වුණේ නිව් ඕලීන්ස් වල. මගේ පවුලේ අයත් සමඟ මං ගිහින් තියෙන්නේ එකම එක විනෝද චාරිකාවක් විතරයි. අපි දුම්රියෙන් ආවා හොලිවුඩයේ Warner Brothers චිත්රාගාර සංකීර්ණයට Gilligan's Island දර්ශන තලය මොනවගේ ද කියලා නරඹන්න. අද Warner Brothers චිත්රාගාර සංකීර්ණයේ චිත්රාගාරයක්, වේදිකාවක්, කාර්යාලයක්, ගොඩනැඟිල්ලක් සහිතව මටම වෙන්වුණු ප්‍රදේශයක් තියෙනවා."
ඊයේ පැවැත්වුණු Golden Globes සම්මාන උළෙලේදී වසර ගණනක් පුරා රූපවාහිනි ක්ෂේත්රයට සිදු කළ මෙහෙවර අගයමින් කැරොල් බ'නෙට් විශිෂ්ට සම්මානය එලන්ට ප්රදානය කෙරෙනවා.
එලන් ඩිජෙනරස්ගේ වයස දැන් අවුරුදු 61ක්.
ජීවිතේ දිනන ගමන අරඹන්න කිසිවෙක් කවදාවත් ප්‍රමාද නෑ.