"විවාහයට මනමාලියගේ කන්‍යාභාවය අත්‍යවශ්‍ය අංගයක් වීම කාන්තාව මුහුණ දෙන ගැටලුවක්" ළමා විවාහයන්ට එරෙහිව සටන් වදින නිර්භීත ගැහැණිය
Thursday, 09 January 2020 - 19:28 | Views - 586
"ඔවුන්ව සිර කොට ඇති අඳුරු කාමරවලින් ඉවතට ගත යුතුයි..."
අප මේ දැරියන් මානසිකවත් කායිකවත් පුනරුත්ථාපනය කරනවා..
වැඩිහිටියන්ගේ මානසිකත්වය වෙනස් කිරීමට උත්සාහ ගන්නවා..
 
“අපි හැමදෙනෙක්ම ඉපදී ඇත්තේ අභිමානයකින් ජීවත් වීමට නොවේද? එහෙත් ඒ ජීවත්වීමේ අයිතිය පවා ඔවුන්ට අහිමි කර තිබෙනවා. 2014 යුනිසෙෆ් වාර්තාවලට අනුව 47% ඉන්දියානු විවාහවල ගැහැනු ළමයින් විවාහ වන්නේ අවුරුදු 18ට අඩුවෙන්. අවුරුදු හය සිට දහතුන දක්වා වූ ළාබාල දැරියන් පවා ඒ අතර සිටිනවා.”


මෙසේ පවසන්නේ පසුගිය වසර හතර ඇතුළත සිදු කිරීමට ගිය ළමා විවාහ දහසකට අධික සංඛ්‍යාවකින් එම දරුවන් බේරා ගත් ඉන්දියාවේ රාජස්ථානයේ ක්‍රියාකාරිනියක වන Saarthi Trust සංවිධානයේ නිර්මාතෘ, පුනරුත්ථාපන මනෝ විද්‍යාඥවරියක වන විසිනව හැවිරිදි කීර්ති භාර්තීය.

ඇය ළමා විවාහවලින් බැට කෑ, කම්පනයට ගොදුරු වුණු දැරියන් යථා තත්ත්වයට පත් කර ගැනීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කරන්නේ ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන්, ගම්මුන්ගෙන් හා විවිධ ආගමික සංවිධානවලින් සිදුවන මරණ තර්ජනද නොතකාය.
 
ඉන්දියාවේ ළමා විවාහ අවලංගු කිරීම හා වැළැක්වීම ඇගේ අභිප්‍රායයි. ළමා විවාහ වැළැක්වීමට බොහෝ සංවිධාන බිහිව ඇතත් දැනට සිදුකර ඇති විවාහ අවලංගු කිරීමේ පුරෝගාමීත්වය දරන්නේ ඇයය.
 
“2006 සිට ඉන්දියානු රජය ළමා විවාහ තහනම් කර තිබුණද වසර දහස් ගණනක් තිස්සේ සමාජයේ මුල් බැස ගත් සිරිතක් එසේ එක්වර නීතියෙන් පමණක් වෙනස් කළ නොහැකිය. අධ්‍යාපනය ලබා දීම තුළින් සමාජයේ සහාය මෙයට ලබා ගත යුතු වෙනවා. බොහෝ අවස්ථාවල ගැහැනු ළමයා පමණක් අඩු වයස් වන අතර ඇය විවාහ කර ගන්නේ වැඩිහිටියෙක්. ළමා විවාහ සිදුවීමට බලපාන කාරණා බොහෝයි. අධික දුප්පත්කම, වැඩිහිටියන්ගේ දේපොළ වත්කම් ආදී ණයවලට ගැහැනු ළමයා හිලව් කිරීම, දෑවැද්ද පමණක් නොවේ. පුරුෂාධිපත්‍යය, පවුලේ ගෞරවය රැකගැනීම, ආගමික හා සමාජීය සිරිත් විරිත් විසින් මවුපියන් වෙත ඇති කරන පීඩනය, පසුව විවාහ වන්නට අවස්ථාවක් නැති වෙතැයි ඇති කරන බිය, විවාහය පමා වුවහොත් අනවසර ලිංගික කටයුතුවලට පෙලඹවීමක් ඇති වෙතැයි බිය ආදී කරුණුත් බලපානවා. විශේෂයෙන්ම ආසියාතික රටවල තවමත් මුල් බැස ගෙන ඇති චාරිත්‍රයක් වන විවාහයට මනමාලියගේ කන්‍යාභාවය අත්‍යවශ්‍ය අංගයක් වීම කාන්තාව මුහුණ දෙන ගැටලුවක්. අනාරක්ෂිත සමාජ වටපිටාවේ දැරිය දූෂණයට හෝ විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවලට යොමු කර ගැනීමට ඇති ඉඩ වැඩියි. ඒ වගේම දැරියන් පැහැරගෙන ගොස් ලිංගික කටයුතුවල යෙදවීම, පිටරටවලට විකිණීම ආදී බිහිසුණු ඛේදවාචක තවමත් මැඬපැවැත්විය නොහැකිව තිබෙනවා. මෙවන් කරුණු නිසාත් දැරිය ඉක්මනින් විවාහයෙන් ආරක්ෂකයකුට භාර කිරීමට මවුපියන් පෙලඹෙනවා.”
 
එම ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් ඇති කීර්ති භාර්තී මානව හිමිකම් දිනය වෙනුවෙන් මාධ්‍යයට පැවැසුවාය. විවාහයේදී මනමාලියගේ පාර්ශ්වයෙන් දෑවැද්ද දෙනු හා සමානවම සමහර රටවල (bride price) මනමාලයා කාන්තා පාර්ශ්වයට මිලක් ගෙවා මනමාලිය ලබා ගත යුතුය. දැරිය කුඩා වූ තරමට මවුපියන්ට වැඩි මුදලක් ලබා ගත හැකිය.
 
ළමා විවාහ නිසා පාඩුව සිදුවන්නේ ඒ දරුවන්ගේ ජීවිතවලට පමණක් නොවේ. රටක ජීවනාලිය නිරෝගී උගත් දැනුවත් මානවවාදී කාන්තාවයි. ළමා විවාහ නිසා දැරියකට මුලින්ම අහිමි වන්නේ පාසල් අධ්‍යාපනයයි. අධ්‍යාපනය නොලද කාන්තාව ආර්ථික වශයෙන් බෙලහීන වන අතර නිතැතින්ම පුරුෂාධිපත්‍යයට යටත්වීමට සිදුවේ. සමාජයේ ප්‍රගමනයට කාන්තාවන්ගෙන් ලබා ගත හැකි දායකත්වයද මෙයින් අඩාල වේ.
 
සෙල්ලම් වියේ පසු වන ළාමක දැරියන් ලිංගික කටයුතුවලට යෙදවීමේදී දැඩි වේදනාවන්වලට ලක් වීමට සිදුවේ. එය ස්ත්‍රී දූෂණයක් වැනිය. ළමා විවාහවල ප්‍රධානම අතුරු ආබාධයක් වනුයේ නව යොවුන් ගැබ්ගැනීම් (teenage pregnancy) ය. මවු පදවිය දැරීමට සුදුසු ආකාරයෙන් වැඩී නැති ළපටි සිරුර ගර්භණීභාවයට මුහුණ දෙන්නේ අපහසුවෙනි. දරු ප්‍රසූතියේදී නිසි වෛද්‍යධාර නොලැබුණහොත් දීර්ඝකාලීන සංකූලතා ඉතිරි වේ.
 
ප්‍රසූතිය දීර්ඝ වන විට දරුවාගේ හිස තදවීම නිසා රුධිර සැපයුම අඩාල වී යෝනි මාර්ගය හා මුත්‍රා මාර්ගය අතර හෝ ගුද මාර්ගය අතර ‘පිස්ටියුලා’ එනම් ඒ මාර්ග අතර සම්බන්ධක විවරයන් ඇති වීමෙන් මල, මුත්‍රා පාලනය අහිමි වීම, මානසිකවද කායිකවද දැඩි අපහසුතා ගෙන ගෙන දේ. ඒ නිසාම පුරුෂයෝද ඔවුන් අත්හැර දමති.
 
යුරෝපා රටවල මෙවන් තත්ත්වයන් අවම වන අතර යුදෙව් සමාජයේ ගැහැනු ළමයකු වැඩිවිය පත් විගස විවාහ කර දීමද, ග්‍රීක් හා රෝම සමාජයේ ගැහැනු ළමයි මෙන්ම පිරිමි ළමයිද නව යොවුන් වියේම විවාහ කර දීම සිරිතක්ව පැවැතිණි. සමාජවාදී දේශපාලනයට පැමිණීමට පෙර චීනයද ළමා විවාහ බහුලව සිදුවූ රටකි. ගැහැනු සහ පිරිමි දරුවන් ළාබාල වයසේම විවාහ කිරීම සමාජ සිරිතක්ව පැවැතුණු ඉතියෝපියාවේ දැඩි නීති රීති නිසා එම සංඛ්‍යාව පහත හෙළන්නට හැකි වී ඇත.
 
“මේ කුඩා දැරියන් ඔවුන්ව සිර කොට ඇති අඳුරු කාමරවලින් ඉවතට ගත යුතුයි. මේ නිසා විවිධ ලිංගික අතවරයනට ඇය ගොදුරක්ව තිබෙනවා. ඇත්ත වශයෙන්ම මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. සිතන්න ඔබේ එකොළොස් හැවිරිදි දියණියට හැඩි දැඩි පිරිමියකු ලිංගික සංතර්පනය කරන්න සිදු වනවා නම් ඇයට ගර්භණීභාවයක් දරා ගෙන දරු ප්‍රසූතියකට මුහුණ දෙන්නට සිදුවනවා නම් ඔබට සතුටින් සිටිය හැකිද? සමාජයේ පූර්ණ අධ්‍යාපනයක් ලබා අංග සම්පූර්ණ කාන්තාභාවය වින්දනය කිරීමට ඇයට උපතින් හිමි අවස්ථාව නොවේද අපි අහිමි කරන්නේ. අප මේ දැරියන් මානසිකවත් කායිකවත් පුනරුත්ථාපනය කරනවා. මෙවන් විවාහ අධෛර්යවත් කිරීමට ගමින් ගමට ගොස් වැඩිහිටියන්ගේ මානසිකත්වය වෙනස් කිරීමට උත්සාහ ගන්නවා. රජයක් නීති රීති දැමූ පමණින් මෙවන් සංවේදී සමාජ මාතෘකා නිරාකරණය වන්නේ නැහැ. රටක් දියුණු කිරීමට ජනතාවත් ඒ හා අත්වැල් බැඳ ගත යුතුයි. මෙහිදී කාන්තාවන් සම්බන්ධව තීන්දු තීරණ ගන්නා පිරිමි පක්ෂය සතුවත් විශාල වගකීමක් තියෙනවා. අපි හැමෝම ළමා විවාහ පිටු දැකීමට පෙරට ආ යුතුයි.” සරල ගති පැවතුම්වලිනුත් යුතු, අධිෂ්ඨානශීලී යුගයේ කාන්තාවක් වූ කීර්ති භාර්තී පවසන්නේ කොතරම් වෙහෙස වුවද ප්‍රිය මනාප සිනාවකින් මුව සරසාගෙනය.
 
වෛද්‍ය ලංකා සිරිවර්ධන
මව්බිම

Image result for Saarthi Trust krithi bharathiImage result for Saarthi Trust krithi bharathiImage result for Saarthi Trust krithi bharathiImage result for Saarthi Trust krithi bharathi
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top