ඇමරිකාව සහ ඉරානය අතර උත්සන්න වෙමින් පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලවීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඉරානය විසින් ඊයේ එල්ල කෙරුණු මිසයිල ප්‍රහාරත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිලද මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් මෙරට ඉන්ධන මිලද ඉදිරියේදී සංශෝධනය වීමේ හැකියාවක් පවතින බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ.
ඉරාකයේ පිහිටි තම කඳවුරු වෙත ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ජාතිය ඇමතූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මැදපෙරදිග ඉන්ධන තමන්ට අවශ්‍ය නොවන බවයි.
එසේම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානයට පනවා ඇති සම්බාධක ඉදිරියේදී දැඩි කරන බව ඔහු සඳහන් කළා.
දැනටමත් පනවා ඇති සම්බාධක හේතුවෙන් මෙරට තේ ඉරානයට යැවීමේදී ගැටළු මතුවී තිබෙනවා. මෙරට හතරවන තේ ගැනුම්කරුවා වන ඉරානයට වාර්ෂිකව අපනයනය කරන තේ ප්‍රමාණය කිලෝ මිලියන 25 ක්.
දැනට පවතින නොසන්සුන්කාරී තත්ත්වය හා සම්බාධක තවදුරටත් දැඩි කළහොත් මෙරට තේ ඉරානයට යැවීමේදී උද්ගත විය හැකි ගැටළු මොනවාදැයි හිරු ප්‍රවෘත්ති අංශය කරුණු විමසුවේ තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩගෙන්.
ඔහු කියා සිටියේ දැනට පවතින තත්ත්වය සමඟ තේ වෙළඳපොල සඳහා විශාල බලපෑමක් එල්ල නොවන බවයි.
ඇමරිකානු - ඉරාන උණුසුම දිගුකලක් පැවතියහොත් මැදපෙරදිග සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ටද බලපෑම් එල්ලවිය හැකියි.
ඒ සම්බන්ධයෙන් දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධානය යොමුව ඇති අතර, පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දන්වන ලෙස ඉල්ලා අද දිනයේ මැදපෙරදිග කලාපයේ රටවල කටයුතු කරන තානාපතිවරුන්ට ලිපි යොමු කරන බව එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.එම්.වී. වන්සේකර සඳහන් කළා.