ඇමරිකා - ඉරාන අර්බුදයෙන් බලපෑම් රැසක්, බොරතෙල් මිල ඉහළට, කොළඹ කොටස් වෙළඳපොළත් පහත වැටේ
Thursday, 09 January 2020 - 8:18 | Views - 404
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය මැද පෙරදිග කලාපයට මෙන්ම ලොව රටවල් රැසකට බලපෑම් එල්ල කර තිබෙනවා.

ඉරාකයේ පිහිටි ඇමරිකානු කඳවුරු දෙකකට ඉරානය අද බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ද ඉහළ ගියා.

ඉරාන සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් කසෙම් සොලෙයිමානි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියත් සමඟයි මෙම උණුසුම් තත්ත්වය හට ගැනුනේ.

එම ප්‍රහාරයට දරුණු ප්‍රතිවිපාකයක් විඳීමට ඇමරිකාවට සිදුවනු ඇතැයි ඉරානය ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව මැද පෙරදිග කලාපයට ඇමරිකානු ප්‍රහාරක යානාද ළඟාවී තිබූ අතර, එවන් තත්ත්වයක් තුළයි ඉරානය බටහිර බැග්ඩෑඩයේ එර්බිල් සහ අල්අසාද් ප්‍රදේශවල පිහිටි ඇමරිකානු කඳවුරු දෙකක් වෙත ප්‍රහාර එල්ල කර තිබුණේ.

ජෙනරාල් කසෙම් සොලෙයිමානිගේ දේහය මිහිදන් කිරීමෙන් පසු පැවති අවමංගල්‍ය උත්සවයේදීම ඉරාන හමුදාව මේ බව නිවේදනය කර තිබුණා.

ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු ඉරානයේ ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් යුක්රේනය බලා ගමන් ආරම්භ කළ යුක්රේන ගුවන් සමාගමට අයත් බෝයිං 737 වර්ගයේ මගී යානයක් ටෙහෙරාන් අගනුවරට නිරිත දිග ප්‍රදේශයකට කඩා වැටුණු අතර, එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු මගීන් 176 දෙනාම මියගොස් ඇති බව දැන් තහවුරු වී තිබෙනවා.

අනතුරෙන් සිදුවී සුළු වේලාවකට පසු ටෙහෙරාන් නුවර පිහිටි යුක්රේන තානාපති කාර්යාලය සඳහන් කළේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොව යානයේ එන්ජිමේ හටගත් දෝෂයකින් එය කඩා වැටී ඇති බවයි.

එහෙත්, අනතුරට පත් යානයේ කිසිදු දෝෂයක් නොතිබූ බව යුක්රේන ජාත්‍යන්තර ගුවන් සේවය ප්‍රකාශ කළා.

එය තම ගුවන් යානා බලඇණිය සතුව තිබූ හොඳම තත්ත්වයේ යානාවක් බව ප්‍රකාශ කළ එම ගුවන් සමාගම එහි නියමුවන් අත්දැකීම් බහුල පිරිසක් බවයි සඳහන් කළේ.

මේ අතර, ඉරානය කියා සිටියේ කඩා වැටුණු යුක්රේන යානයේ කළු පෙට්ටිය යානයේ නිෂ්පාදකයින් වන ඇමරිකානු බෝයිං සමාගමට ලබානොදෙන බවයි.

ඉරානයේ සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රධානියා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ දත්ත විශ්ලේෂණය කිරීම සඳහා එය කුමන රටකට ලබාදෙන්නේද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවයි.

කෙසේ වෙතත්, ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර හටගෙන ඇති ගිනි අවි භාවිත කිරීමේ සිද්ධීන් වහාම අත්හිටුවා සාකච්ඡා ආරම්භ කරන ලෙස යුරෝපා සංගමයේ සභාපති අර්සලා වොන්ඩර් ලේන් ප්‍රකාශ කළා.

ඇමරිකාව සමඟ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට ඉන්දියාව, මැදිහත්වන්නේ නම් එය පිළිගන්නා බවයි ඉන්දියාවේ සිටින ඉරාන තානාපතිවරයා සඳහන් කළේ.

මේ අතර, අද ඇමරිකානු කඳවුරු දෙකකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනි ජාතිය ඇමතූ අතර, ඔහු කියා සිටියේ මෙම ප්‍රහාරය ඇමරිකාවට එල්ල කළ කම්මුල් පහරක් බවයි.

මේ අතර ප්‍රහාරයෙන් සිදුවූ හානිය ඇමරිකාව විසින් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති නමුත්, ඉරාන රාජ්‍ය රූපවාහිණිය නිවේදනය කළේ ප්‍රහාරවලින් ඇමරිකානු සෙබළුන් 80 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එසේම, මෙම ප්‍රහාරයට ඇමරිකාව ප්‍රතිචාර දක්වමින් ප්‍රහාර එල්ල කළහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඊශ්‍රායලයට පහර දෙන බවට ද ඉරානය අනතුරු ඇඟවීමක් සිදුකළා.

එරට විප්ලවීය හමුදාව සඳහන් කළේ ඇමරිකාව නමැති ත්‍රස්ත හමුදාවට පහසුකම් සපයන සියලු පාර්ශව ඉරානයේ ඉලක්කයක් වනු ඇති බවයි.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, තම රටට ප්‍රහාරයක් එල්ල කළහොත් දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බව සඳහන් කර තිබෙනවා.

අද එල්ල වූ ප්‍රහාරයත් සමඟ රටවල් කිහිපයක් සිය වැසියන්ට ඉරාකයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම්දී තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්ථානය ද ඊට ඇතුළත් අතර, ඉරාකයෙන් වහාම පිටවන ලෙසයි පිලිපීනය එරට රැදි සිටින තම පුරවැසියන්ට දැනුම්දී ඇත්තේ.

මේ අතර මැදපෙරදිග තත්ත්වය සමඟ විදෙස් ගත තම පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් මතුවිය හැකි බවට කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් මෙරට සිටින ඇමරිකානු පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා.

එසේම, යුරෝපා මෙන්ම ආසියානු කොටස් වෙළඳපොලෙහි කැපී පෙනෙන පහත වැටීමක් අද වාර්තා වූ අතර, කොළඹ කොටස් වෙළඳපොලේ දර්ශකද අද පහත වැටීමක් පෙන්නුම් කළා. එමෙන්ම, ලොව පුරා ප්‍රධාන ගුවන් සේවා සමාගම් ඉරාන සහ ඉරාක ගුවන් සීමාවලට ඉහළින් යානා පියාසර කිරීම මේ වනවිට අත්හිටුවා තිබෙනවා.

සිංගප්පූරු, මැලේසියා, කොන්ටාස්, කැතේපැසිෆික් වැනි ලොව ප්‍රමුඛතම ගුවන් සේවාවන් රැසක් මෙලෙස එම ගුවන් සීමාව මගහැරෙන පරිදි සිය ගුවන් ගමන් මාර්ග වෙනස් කර ඇති බවයි වාර්තාවන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමද අද නිවේදනය කළේ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ තම යානා ඉරාන සහ ඉරාක ගුවන් සීමා මග හැර ධාවනය කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව කොළඹ සිට ලන්ඩනය දක්වා සහ ලන්ඩනයේ සිට කොළඹ දක්වා පියාසර කෙරෙන ශ්‍රී ලංකන් ගුවන් යානා වෙනත් මාර්ග ඔස්සේ පියාසර කෙරෙනු ඇති.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top