දසමසක් කුස හොවා දැඩි කළ තම මව අමානුෂිකව මරා දමා පුතෙකු සිදුකළ මහා පාපකර්මය
Wednesday, 08 January 2020 - 16:29 | Views - 713
පැල්මඩුල්ල උඩුතුල්ල ගම් ප්‍රදේශය පිහිටා ඇත්තේ බලංගොඩ පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයේ බත්ගංගොඩ මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ දුරිනුයි.
 
පසුගිය කාලයේ කාන්තා ඝාතන රැසක් සිදුවූ කහවත්තට උඩුතුල්ලේ සිට ඇත්තේ කිලෝමීටර් 10ක් පමණ දුරක් පමණයි.
 
මේ ගමේ පදිංචි හවුපේකාරගේ ජේන් නෝනා මාතාව තිදරු මවක්. පළමු සැමියාගෙන් වෙන්ව සිටි ඇය දෙවන විවාහයෙන් පුතුන් දෙදෙනෙකුගේ මවක්ව සිටියා. ඒ මීට වසර ගණනකට පෙරදී.

දෙවන විවාහයේ දරුවන් දෙදෙනා සමඟ ජීවත් වූ ජේන්නෝනා තමාට අයිති අක්කර පහක පමණ තේ වගාවෙන් ලැබුණු ආදායමෙන් ජීවිතේ ගැට ගසා ගත්තා.
 
පුතුන් දෙදෙනා කුලී රැකියා කරමින් ඔවුන්ගේ ජීවනෝපාය සඳහා යම් මුදලක් උපයා ගත්තා. සිද්ධිය වන ජේන් නෝනා මහත්මියගේ දෙවැනි පුතු වන පුෂ්ප වසන්ත කුමාර මනා ශරීරශක්තියෙන් හෙබි අයකු වුවත් ඔහු කිසියම් මානසික රෝගයකින් පීඩා වින්ඳා. ඒ මීට වසරකට පමණ පෙර සිටයි. තිස් නව හැවිරිදි තම පුතුගේ මේ රෝගී තත්ත්වය නිසා ජේන්නෝනාද සිටියේ කම්පාවෙන්. පුතු සුව කරගැනීමට ඇය නොගත් උත්සහයක් නැහැ. ඒ සඳහා ඇය හැටි සැටියෙන් මුදල් වියදම් කළා. එහෙත් ඒ හැම දෙයක්ම ගඟට කැපූ ඉනි සේ වුණා.
 
නිවසින් පිටව සිටියදී හොඳ මානසික තත්ත්වයකින් පසුවන පුෂ්ප වසන්ත කුමාරගේ හැසිරීම නැවත නිවසට පැමිණී පසු ක්‍රමයෙන් වෙනස් වීම බොහෝ දෙනෙකුට අදහාගත නොහැකි වුණා.
 
මුල් අවධියේ තම මව රැකබලාගත් වසන්ත අනතුරුව මවට පහර දී හිංසා පීඩා සිදුකිරීමට තරම් සැහැසි වුණා.
 
වසන්ත ටික කලකට පෙර එක්වරම සිය නිවසින් ආගිය අතක් නැතිවුණා. ජේන් නෝනා තම පුතු සොයන්නට බොහෝ වෙහෙස ගත්තා. පසුව ඔහු අනුරාධපුර රුවන්වැලි සෑ අසළ සිටින බවට ඇයට තොරතුරු ලැබුණා.
 
ජේන් නෝනා අනෙක් පුතු සහ අසල්වාසීන් සමඟ වෑන් රථයක් කුලියට ගෙන අනුරාධපුරයේ සිටි පුතු නැවතත් නිවසට කැඳවාගෙන ආවා.
 
අනතුරුව වසන්ත මව හා සොහොයුරා සමඟ සුපුරුදු නිවසේ කාලය ගත කළා.
 
ඒ පසුගිය 22 වැනි දිනයි.
 
පැල්මඩුල්ල උඩතුල ගම් ප්‍රදේශයේ පදිංචිකරුවන් තම සුපුරුදු දිනය ආරම්භ කරමින් තම රැකියාවට නිරත වීම සඳහා උදේ රැයින්ම නිවෙස්වලින් පිටව ගියා.
 
ජේන්නෝනා තම නිවස් වැඩ කරමින් සිටියා. වසන්ත ද නිවසින් පහළට බැස ගියා. ඔහුගේ සහෝදරයාත් කුලී රැකියාවට පිටත් වුණා.
 
නිවසින් පිටවී උඩතුල කඩමණ්ඩිය දෙසට ගිය වසන්ත නැවත නිවසට පැමිණීයේ උදෑසන 10ට පමණයි.
 
උදෑසන 10.30ට පමණ ජේන්නෝනාගේ නිවස දෙසින් මරළතෝනීයක් ඇසුණු ප්‍රදේශවාසීන් භීතියට පත්වුණා.
 
"අනේ මාව බේරාගනියෝ.. මාව මරනවා.." යනුවෙන් ජේන්නෝනාගේ කෑ ගසන හඬ ඇසුණු අසල්වාසී කාන්තාවක් කෑගසා මේ සිද්ධිය සෙසු අයට සැල කළා.
 
"පුතා ජේන් නෝනාට ගහනවා. එයා බේරගන්න එන්න.."
 
ඒ අවස්ථාවේ යකඩ පොල්ලක් අතැතිව සිටි වසන්ත සිටියේ මාරවේෂයෙන්.
 
"එකෙක්වත් මං ළඟට එන්න එපා. මම භූතයාව මැරුවා.." යැයි ඔහු කෑ ගසන්නට වුණා. මානසික රෝගයකින් සැකකරු පෙළුණු බැවින් අසල්වාසීන් කිසිවකු ජේන්නෝනා බේරා ගැනීමට ඇගේ නිවසට ගියේ නැහැ. ගතවූයේ නිමේෂයක්. නිවස ඇතුළෙන් දුමක් මතුවනු එතැනට පැමිණ සිටි පිරිසට දකින්නට ලැබුණා.
 
'යකඩ මුගුරක්' අතැතිව සිටි පුතු වසන්ත ඒ සමඟම නිවසින් අතුරුදහන් වුණා. නිවස ඇතුළින් කිසිම ශබ්දයක් නොනැඟුන නිසා අසල්වාසීන් ජේන් නෝනාගේ නිවසට හීන් සීරුවේ ගොස් විපරම් කළා. ඔවුන්ට දකින්නට ලැබුණේ ජේන් නෝනාගේ සිරුර ඇඳ මෙට්ටයක ඔතා ඊට ගිනි තබා ඇති අයුරුයි.
 
ඇගේ මුළු සිරුරම පිළිස්සී තිබුණා. ජේන්නෝනා ඒ වන විටත් අවසන් ගමන් ගොස් සිටියා. අසල්වාසීන් මේ පිළිබඳ පැල්මඩුල්ල පොලීසියට දැනුම් දුන්නා.
 
පොලිසිය පැමිණෙන විටත් වසන්ත නිවසින් පලා ගොස් සිටි අතර ඔහු නිතරම රුවන්වැලි සෑය වැඳපුදා ගැනීමට යන බවට අසල්වාසීන්ට කියා තිබුණු නිසා පැල්මඩුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් පාලිත මහතා සැකකරු අනුරාධපුරටයට යන්නට ඇතැයි සැක කළා.
 
කෙසේ වෙතත් පලායමින් සිටි සැකකරු බත්ගම්ගොඩ ප්‍රදේශයේ පතල් කම්කරුවන් පිරිසක් විසින් අල්ලා ගස් බැඳ තිබුණා. මේ බව දැනගත් පැල්මඩුල්ල පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් සැකකරුව අත්අඩංගුවට ගත්තා.
 
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව මනෝවෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළා. අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළා.
 
එන්. පී. රාජදොරේ

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top