ඇකිරිය මාර්ගයේ දිව්වේ අවුරුදු 15ක් පරණ බස් එකක්- අලුත් එකක් තිබුණා නම් මෙහෙම වෙන්නෙ නෑ
Wednesday, 08 January 2020 - 11:00 | Views - 571
“පස්සරදී ප්‍රපාතයකට පෙරළුණු බස් රිය වසර 15ක් විතර මේ පාරේ දුවනවා. ඇකිරිය පාර කියන්නේ හදපු නැති විශාල බෑවුම් තියෙන පාරක්. අහිංසක මිනිසුන්ගේ ජීවිත යළිත් විපතට පත් කරන්න එපා. මේ වගේ දේවලට යළි ඉඩ දෙන්න එපා. බස් එකවත් අලුතින් දමා දෙන්න. ඒක නැති වුණ අයටත් කරන ගෞරවයක් වේවි” පස්සරදී පෙරේදා (06දා) සවස සිදුවූ බස් අනතුරින් මියගිය අමීනා උම්මා (42) මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ කාදර් බාවා එලෙස පැවැසුවේය.

පස්සර සිට ඇකිරිය දක්වා ගමන්ගත් බස් රථය මඩොල්සිම 6 කණුවේදී පාරෙන් ඉවතට පැන අඩි 150ක් පමණ ප්‍රපාතයට ඇදවැටීමෙන් ආරුමුගම් ආකාෂ් (අවු. 18), මරදමුත්තු ධර්මලිංගම් (55), අමීනා උම්මා (42), බී. පද්මාලි (17), නෙත්මි නවෝද්‍යා (18), කේ.ඒ. කරුණාදාස (63), පී.එම්. ගංඇති (56), ඒ.එම්. කරුණාවතී (61) යන අටදෙනා ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන්ගේ මළසිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (07දා) උදෑසන පස්සර රෝහලේදී ආරම්භ කළ අතර එහිදී මළසිරුරු පරික්ෂා කළ පස්සර මහෙස්ත්‍රාත්වරයා මෙම මළ සිරුරු පරික්ෂා කිරීමෙන් පසු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියකු විසින් මෙම මරණ පරීක්ෂණ සිදු කරන ලෙසට නියෝග කළේය.

මෙම අනතුරෙන් මියගිය අමීනා උම්මා (42) යන අයගේ ස්වාමිපුරුෂයා කාදර් බාවා (43) එහිදී මෙසේ පැවැසුවේය.

“ඊයේ අනතුරෙන් මියගොස් සිටින අමීනා උම්මා මගේ බිරියයි. අපිට ළමයි හතරදෙනෙක් ඉන්නවා.

“6දා සවස මගේ බිරිය පුතා අසාද් එක්ක පස්සර ඉඳන් ගෙදර එන්න සවස 5.20ට පස්සරින් ඇකිරියට එන බස් එකට නැඟලා තියෙනවා. හවස 6.30ට විතර මගේ බෑනාට එයාගේ යාළුවෙක් කතා කරලා කියලා තියෙනවා පස්සර ඉඳන් ආපු බස් එක පෙරළිලා කියලා ආරංචියක් තියෙනවා. ඒකේ ආපු ඔයාගේ නැන්දම්මටයි, මල්ලිටයි තුවාලයි කියලා ආරංචියි. පොඩ්ඩක් හොයලා බලන්න කියලා. මගේ බෑනා අපිට මේ බව පවසා පස්සර රෝහලට ආවා. ඒ ඇවිත් බලලා අපිට කතා කරලා කීවා තාත්තේ අම්මා නැතිවෙලා, මල්ලිටත් ගොඩක් තුවාලයි එයත් බදුල්ලට යවන්න ලෑස්ති වෙන්නේ කියලා. යැයි කම්පාවෙන් පැවැසුවේය.

“මේ බස් එක දැනට අවුරුදු 15ක් විතර වගේ මතකෙ හැටියට මේ පාරේ දුවනවා. පරණ බස් එකක්. ඇකිරිය පාර කියන්නේ හදපු නැති විශාල බෑවුම් තියෙන පාරක්. ඒ නිසා අපි වගේ අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් නොකර ආරක්ෂාව ඇතිව යන්න එන්න පුළුවන් අලුත් බස් මේ පාරට දාලා ආයේ කවදාවත් මේ වගේ දේවල් සිදුනොවෙන්න වැඩ කරන්න කියලා ඉල්ලනවා. ඒක මියගිය අයටත් කරන ගෞරවයක් වේවි” ඔහු කීය.

එහිදී අදහස් දැක්වූ එස්.වී. ආරුසාමි

“මට අවුරුදු 35යි. මේ අනතුරින් මියගොස් සිටින නෙත්මි නවෝද්‍යාට (18) නෑකමින් මම වෙන්නේ බාප්පායි. දුව ඉගෙනගන්නේ පස්සර සිංහල මහා විද්‍යාලයේ උසස් පෙළ අංශයේ. දුව පාසල් ගොස් අමතර පන්තිවලට සහභාගි වී හැමදාම එන්නේ මේ බස් එකේ. ඊයේ සවස ඇවිත් අම්මා කීවා ගමට එන බස් එක පෙරළිලා කියලා ආරංචියි පොඩ්ඩක් හොයලා බලන්න කියලා. පස්සේ මම සිද්ධිය වුණු ස්ථානයට ඇවිත් බලනකොට විශාල පිරිසක් රැස්ව සිටියා. බස් එක අඩි 150ක් විතර පල්ලෙහාට පෙරළිලා තිබුණා. එම ස්ථානයේ දුව සිටිනවාද කියා සොයා බැලුවත් සිටියේ නැති නිසා මම ඉක්මනට පස්සර රෝහලට ගියා.

ඒ ගිහින් බලනකොට දුව වාට්ටුවල සිටියේ නැහැ. පසුව රෝහලෙන් අසද්දි දුව මියගොස් ඇති බව පැවැසුවා. දුව ඉස්කෝලේ වැඩවලට දක්ෂ කෙනෙක්. බලාපොරොත්තුව තිබුණේ හොඳට ඉගෙනගෙන රැකියාවක් කරලා අම්මා තාත්තව බලාගන්න. එහෙම කියපු දුව අද නැති වුණා” යනුවෙන් ඔහු පැවැසීය.

මෙහිදී “මව්බිම”ට අදහස් දැක්වූ ශාන්ත කුමාර

“මට අවුරුදු 32යි. කුඹුක්ගහවත්ත, උඩගම, මැටිගහතැන්න යන ලිපිනයේ පදිංචිව සිටිනවා. මියගොස් සිටින ඒ.එම්. කරුණාවතී (61) මගේ අම්මා. මගේ පියාගේ අම්මා බදුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන නිසා ඇය එයා ගාව ඉඳලා ගෙදර එනකොට තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. හවස 6.20ට පමණ ආරංචියක් ආවා ගමට එන බස් එක පෙරළිලා කියලා. පස්සේ අපි ඉක්මනට බස් රථය පෙරළී තිබූ ස්ථානයට ගියත් එම ස්ථානයේ සිටි තුවාලකරුවන් පස්සර රෝහලට අරන් ගිහින් තිබුණා. ඉක්මනින් අපි පස්සර රෝහලට ගියා. ඒ ගිහින් සොයාබලනකොට අම්මා මියගොස් තිබුණා. මම රජයෙන් ඉල්ලන්නේ මේ වගේ පටු පාරවල්වලට හොඳ අලුත් බස් දාන්න කියලා. මේ බස් එක දැන් අවුරුදු 10ක් 15ක් විතර මේ පාරේ දුවනවා” යැයි ඔහු පැවැසීය.

උදෑසන සිට පස්සර රෝහල් භූමියේ විශාල ජනතාවක් රැඳී සිටින අතර එම ස්ථානයට පැමිණි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා අදහස් ප්‍රකාශ කිරීමේදී රැස්ව සිටි පිරිස දැඩි විරෝධයක් පළ කරන ලදී.

මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 41 දෙනකු මේ වන විට බදුල්ල පළාත් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි. තුවාල ලැබූවන් අතර බසය පෙරළීමෙන් පසුව එහි සහන කටයුතු සඳහා ගිය පොලිස් නිලධාරියකුද වෙයි.

සිද්ධියෙන් වයස අවුරුදු 17ක පාසල් සිසුවකු හා වයස අවුරුදු 18ක පාසල් ශිෂ්‍යාවක් ඇතුළු 8 දෙනෙක් මියගොස් ඇති අතර ඉන් සිවුදෙනකු කාන්තාවන්ය.

මේ අතර අනතුරට හේතුව ඊයේ (7දා) දහවල් වන විටත් අනාවරණය කරගෙන නොතිබූ බවද අද පස්වරුවේ මෝටර් රථ ප්‍රවාහන පරීක්ෂකවරයා විසින් බස් රථය පරීක්ෂා කිරීමෙන් පසුව අනාවරණය කරගත හැකි බවද පොලිසිය සඳහන් කරයි.

බදුල්ල මහෙස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා පස්සර බස් අනතුර සිදුවූ ස්ථානීය පරීක්ෂාවෙන් පසුව බදුල්ල පළාත් මහ රෝහලට පැමිණි අවස්ථාවේ සැකකාර බස් රියැදුරු ජනවාරි මස 16දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සුක්කානම නිකම්ම කැරකුණා; වෙච්ච දේ හිතාගන්න බැරි වුණා - රියැදුරු කියයි

පස්සර මාරක බස් අනතුරේ රියැදුරු ශාන්ත කුමාර (37) ද අනතුරින් තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහු ‘මව්බිම’ට අදහස් දක්වමින් මෙසේ කීය.

“මම ලංගමයට බැඳුණේ 2003.03.18 වැනිදා. මම පදිංචි වෙලා ඉන්නෙ පස්සර උඩුකුඹුර මැටිගහතැන්නේ. සවස 4.30ට පස්සර බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එක ගමන් ආරම්භ කරලා මැටිගහතැන්නෙන් මගීන් බස්සවා බස් එක ඉදිරියට ගියා. ටිකක් ඉදිරියට යන විට ඉදිරි පසින් ලොරියක් ආවා. ලොරියට යන්න ඉඩ දුන්නා. ලොරියට යන්න ඉඩදීලා ගියර් එක කඩල සුපුරුදු විධියට බස් එක ඉස්සරහට ගන්න හදද්දී සුක්කානම නිකම්ම කැරකුණා. වෙච්ච දේ හිතාගන්න බැරිවුණා. ඒත් එක්කම බස් එක පාලනයෙන් ගිලිහිලා ප්‍රපාතයට පෙරළුණා. මගීන් කෑ ගැහුවා ඇහුණා. මොනවා වුණාද කියලා හිතා ගන්න බැරි වුණා.”

මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top